Search This Blog

Followers

Friday, October 26, 2012

අත්තිවාරම


මං අද කතාකරන්න යන්නේ  ගෙවල් වල අඩිතාලම ගැනනම් නොවෙයි  අපි හැමෝටම ජීවත්වීමට වැදගත් වෙන දෙයක පදනම ගැන . ආර්ථික විද්‍යාවෙ නැත්නම් අර්ථශාස්ත්‍රයේ  පදනම ගැන නිදහස් වෙළඳ පොළ ආර්ථිකය ගැන ලියන්න අදහස් කරන ලිපි පෙළක ආරම්භය.

 බුද්ධ ධර්මය කියන්නේ තමන් ගැන සොයන දහමක් කිව්වම කවුරුත් පිලිගන්නවා නේ . බුද්ධාගමේ හැම දෙයක්ම තනි පුද්ගලයා පිලිබඳ දහමක් මේ වගේම තමයි ආර්ථික විද්‍යාව කියන්නේ සම්පුර්ණයෙන්ම  තනි පුද්ගලයන් පිලිබඳ දෙයක්. මොකද දන්නවද ආර්ථික විද්‍යාවෙ හැමදෙයක්ම අදාල වෙන්නේ පුද්ගලයාගේ  තෝරාගැනීම පිළිබඳවයි. තෝරාගැනීම කියන එක අදාළ  වෙන්නේ පුද්ගලයාටයි.
 මේක තව ටිකක් පැහැදිලිකර ගමු. 
මුදල්  සම්බන්දවෙන සහ  නොවන දේවල් වලදී පවා පුද්ගලයෙකුට තෝරාගැනීම් කරන්න වෙනවා. ලෙඩවෙලා ඉන්න යාළුවා බලන්න ඉස්පිරිතාලේ යනවද පෙම්වතිය හම්බවෙන්න යනවද? ට්‍රිප් එකක් යනවද? කාර් එකක් ගන්නවද?සපත්තු දෙකක් ගන්නවද සෙල් ෆෝන් එකක් ගන්නවද ඉඩම වටේ තාප්පේ ගහනවද? ගෙදරට වෙලා විවේකයෙන් ඉන්නවද වැඩට යනවද? හැමතැනදිම වගේ මුදල් එක්කෝ  කාලය එක්කෝ මහන්සිය උනන්දුව වෙන්න පුළුවන් අපිට ඕනදෙවල් ලබාගන්න කරගන්න  අවශ්‍ය සම්පත් මදි උනාම හැම දෙයක්ම ලබාගන්න,ඉටු කරගන්න බෑ එතකොට අපිට තෝරාගන්න වෙනවා අපි මේ දේවල් අතරින්  අපිට වැඩිපුරම අවශ්‍ය වෙන දේ.   ආර්ථික විද්‍යාව කියන්නේ මෙන්න මේ සෙල්ලම ගැන තමයි.

දැන් වැදගත්ම දේ තමයි මේ තෝරා ගැනීම් ඔබ වෙනුවෙන් වෙන කෙනෙක්ට කරන්න පුලුවන්ද කියන එක . බැහැ නේද ? ඔබට අවශ්‍ය දේ ඔබයි තෝරාගන්නේ පුද්ගලයා තමයි තෝරාගන්නේ මොකද්ද කියල තීරණය කරන්නේ. සමාජය හෝ  සාමුහික පිරිසක් මේ තෝරා ගැනීම් කරන්නේ නැහැ සහ බැහැ. ඇයි බැරි.  හේතුව තමයි සමුහයකට මනසක් හෝ ජීවයක් නොමැති නිසා. පුද්ගලයාටයි මොලය තියෙන්නේ සාමුහික මොලයක් නැහැ. ඔබේ තෝරාගැනීම මොකද්ද කියල  ඔබ විතරයි දන්නේ. දැන් ඔයාලට හිතේවි ඇයි චන්දයක් තියල තෝරන්නේ මොකද්ද කියල තීරණය කරනවා. එත් ආයිත් චන්දයේදී මොන එකද තෝරා ගන්නේ කියල තීරණය කරන්නේ පුද්ගලයා.  අන්න ඒ තැන ඒ කියන්නේ පුද්ගලයාගේ තෝරා ගැනීම සහ ඒ තෝරාගැන්මේ විපාක අවබෝධ කරගැනීම  තමයි ආර්ථික විද්‍යාවෙ සම්පුර්ණ අවධානය යෙදවෙන්නේ. ඉතින් මේ තෝරාගැනීම් සහ එවයි ප්‍රතිවිපාක අවබෝධ කරගන්න   පුළුවන් එකම විදිය   තමයි තනි පුද්ගලයින් තෝරා ගැනීම් තීරණ ගන්නේ කොහොමද කියල හොයල බැලීම.

ඊළඟට වැදගත් වෙන දෙය තමයි   ආර්ථික විද්‍යාව කියන්නේ  ස්වාභාවික විද්‍යාව වගේ දෙයක් නොවෙයි කියන එක අවබෝධ කර ගැනීම.  මේ දෙක වෙනස්.  ස්වාභාවික විද්‍යාව කරන්නේ භෞතික දේවල් පිළිබඳව හැදෑරීම ඉතිං මේ වස්තු කිරල මැනලා  නිරීක්ෂණය කරලා විද්‍යාඥයෙක්ට පුළුවන් ස්වභාවික වස්තු වල ස්වභාවය චර්යාවන්  ක්‍රියාකාරීත්වන්  ගැන දැනගන්න ඊට පස්සේ  ඒ දැනුම මත පිහිටා අනාගතය පුරෝකථනය කරන්න. උදාහරණයක් කිව්වොත් බ්ලොග් ලියන ඇල්කෙමියා  විද්‍යාඥයෙක් ඔහුට කියන්න පුළුවන් හරියටම ටක්කෙටම යම් කිසි රසායනික ද්‍රව්‍ය දෙකක් යම් මාත්‍රා ගණනකින් කවලම් කරොත් වෙන ප්‍රතිපලය මොකද්ද කියන එක.
 හැබැයි ආර්ථික විද්‍යාවට මේක කරන්න බෑ ඇයි දන්නවද?  මං ඉස්සෙල්ල කිව්වා වගේ ආර්ථික විද්‍යාව කියන්නේ  මිනිස්සු කොහොමද තෝරා ගැනීම් කරන්නේ කියන ඒකට  නේ ඒ කියන්නේ  හිතන පතන මිනිස්සු මේ ලෝකයේ  වඩා කැමති වෙන්නේ , වඩා අගේ කොට සලකන්නේ, බලාපොරොත්තු වෙන්නේ විශ්වාස කරන්නේ  මොනවද කියන දේවල් නේ මේවට බලපාන්නේ  ඉතිං ආයිමත්  මේවා  පුද්ගලික, තනි මිනිසුන්ගේ  හිතේ ඇතිවන හැඟීම් අර භෞතික වස්තු වගේ කිරන්න මනින්න හැසිරීම නිරීක්ෂණය කරන්න බෑ. ඉතිං ඒ හින්ද ආර්ථික විද්‍යාවට  ස්වාභාවික විද්‍යාව වගේ  අනාගතය පුරෝකථනය කරන්න බෑ.

එතකොට  මොන බම්බුවක්ද  ආර්ථික විද්‍යාවට කරන්න පුළුවන්.

ආර්ථික විද්‍යාවට  පුලුවන්  කොහොමද  අපි මිනිස්සු විදියට පුද්ගලයින් විදියට තෝරාගැනීම් කරන්නේ කියන ඒක දැනගන්න? මෙන්න මේ වගේ වැඩක් කරන්න පුළුවන්. තවත් මනුශ්‍යයෙක් විදියට අපි දන්නවා නේ අපි හිතන්නේ පතන්නේ කොහොමද කියල  ඉතිං අපිට තේරුම් ගන්න පුළුවන් ලෝකය පිළිබඳව මිනිස්සුන්ගේ වැඩි කැමැත්ත, වටිනාකම්,  අභිප්‍රායන් ,සහ එල්බගත් මත මොනවද කියල. මොකද අපිත් තවමනුෂ්‍යක් විදියට මේවා අත්විදිනවා නේ.මෙන්න මේ දැනුම භාවිතා කරලා අපිට පුළුවන් මිනිස්සුන්ගේ මේ දේවල්  හිතන පතන විදිය නිසා ඉදිරියෙදී  කොහෙටද අපිව ගෙනියන්නේ කියල  තාර්කික ගොඩ නැංවීමක් කරන්න ඒ කියන්නේ  උදාහරණයකට භාණ්ඩ හුවමාරුව වෙළඳපොල හැසිරීම වැඩකරන්නේ කොහොමද කියල  විස්තර කරන්න.

ස්වාභාවික විද්‍යාඥයෙක් අප දිහා හුදු වස්තුවක් දෙයක් දිහා වගේ  බලලඒවා හදාරලා  මේ දේවල් වගේ අපි කොහොමද වැඩකරන්නේ  හැසිරෙන්නේ කියල කියනකොට මිනිසුන්ගේ අපේ ඇතුලාන්තය ඒ අයට මග හැරිලා යනවනේ  මීට වෙනස්ව  ආර්ථික විද්‍යාව  අපි ජීවත් වෙන්නේ කොහොමද කියල අපිට  පහදා දෙනවා ඒක නිසා ආර්ථිකය ගැන විධිමත්ව දැනගැනීම අපි හැමෝටම ඉතා වැදගත්.

Wednesday, October 24, 2012

පී. බී. දෙන්න එහෙම එපා එක සතයක්වත් වත් චම්පිකට

ජනාධිපති තුමාගේ පවුලේ කෙනෙකු නිසා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  ලබන විශේෂ සැලකිල්ල නිසා අංක එක අහිමි නොවුනානම් අද ලංකාවේ වැඩිම බලයක් ඇති  රජයේ ඉහළතම  පරිපාලන නිලධාරියා වන්නේ අචාර්ය පී බී ජයසුන්දරයි. එත් තවමත් දෙවනියා ඔහුය.
ලංකා සී නිව්ස් පුවතකට අනුව  පසුගියදා වීදුලි බල හා බලශක්ති ඇමති චම්පක රණවක වෙනත් නිලධාරීන් ද රාශියක් ඉදිරිපිට අචාර්ය පී බී ජයසුන්දරට පරිභව කොට බැනවැදී ඇත. විදුලිබල මණ්ඩලය මුහුන පා ඇති මූල්‍ය අර්බුදය පිලිබඳ  පැවති රැස්වීමකදී  පී .බී ජයසුන්දර විසින්   චම්පික ඇමතිතුමා වෙනත් තැනකදී කිවූ කතාවක් පිළිබද   ඇනුම් පද කියා ඇත.  වෙනත් තැනකදී  මීට පෙර අවස්ථාවක  චම්පික කියා ඇත්තේ රජයේ නිලධාරීන් රටේ ආර්ථිකය විනාශකර දමන බවයි.

 එවෙලේම ප්‍රතිචාර දැක්වූ චම්පික ඇමති තුමා ඔබ තමයි රටේ ආර්ථිකය විනාශ කරන ප්‍රතිපත්ති හදමින් ආර්ථිකය විනාශ කරන්නේ කියා මුනටම  බැනවැදී ජයසුන්දර මහතා ඉතා අපහසුතාවයකට පත් කොට ඇත.
බැන්නා කියා මං  ජනාධිපතිතුමාට කියන්නං කියා පමණක් කියා අචාර්ය පී බී  ජයසුන්දර  නිහඬව වී ඇත.

දැන් මෙතැන වී  ඇත්තේ රට කරවන දේශපාලකයින් හා රට කරවන නිලධාරීන් අතර ගැටුමකි. මේ ගැටුම දිහා ඉතිං අපිට මොකෝ කියා  කීමට හා නිකම් බලා සිටීමට  රටේ සංවේදී  ජනතාව ලෙස  අපි කැමැත්තක් දක්වන බව සැබෑය. එසේත් නොමැතිනම්  මේ දෙදෙනාගෙන් තමා වඩාත් අකමැති කෙනාට බැනල කොමෙන්ට් එකක් දාල නිහඬ වීම අනික් ක්‍රමයයි.  නමුත් අමාරුවෙන් හෝ මේ හැදියාව වෙනස් කර ගත්තේ නැත්නම් තමන්ගේ දරුවන්ට ඉදිරියේදී රට හැර යාම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවනු ඇත.

රටේ  වෙන්නේ කුමක්දැයි හැගීම වලින් නොව නිවැරිදිව හඳුනාගැනීම රටේ හැම පුරවැසියාගේම වගකීමකි . මේ දෙන්නගේ ගැටුමෙන් ජනතාවට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? බ්ලොග්  කරුවන් ලෙස අපට එහි ඇති  වැදගත්කම මොකද්ද යන්න පහදා දීම මේ ලිපියේ අරමුනයි. දැන් කට්ටියක් කියයි අයියෝ මේ කවුරුත් දන්නා දේවල් ටිකක් නේ කියල ඔව් මේවා දේශපාලන ආර්ථික  හෝඩි පොතේ දේවල් තමයි.  එත් ඉතින් මේ දන්නා දේවල් වලින් වැඩක් ගන්නවා කියල පේන්නේ නම් නෑ චන්ද්‍රිකා 94 දිනුවා අනර්කලී තමයි දැන් චන්දෙ දිනන්නේ.

ඉහත  ගැටුමට අදාළ විදුලි බල මණ්ඩලය යනු රාජ්‍ය ව්‍යාපාරයකි. මහා බැංකු වාර්ථාවට අනුව  විදුලි බල මණ්ඩලය 2011 දී රුපියල් බිලියන 26 ක පාඩුවක් ලබා ඇත.

 රාජ්‍ය ව්‍යාපාරයක අයිතිකරු වන්නේ බදු ගෙවන ජනතාවයි. දැන් මේ ඔබට අයිති ව්‍යාපාරය  ඔබ පවතින  ආණ්ඩුවට භාර දෙනවා ඔබ වෙනුවෙන්  කරගෙන යන්න. මෙතනදී  විදුලි බල මණ්ඩලය කරන්න භාර දීල තියෙන්නේ ආණ්ඩුවේ චම්පිකට. දැන් චම්පික රණවක ඇමති තුමා ඔහු යටතේ නිලධාරින් පත් කරනවා මේක කරගෙන යන්න. මේ නිලධාරීන් යටතේ යතුරු ලියන්නියගේ ඉඳන් කම්කරුවා දක්වා වැඩ කරනවා. දැන් පාර්ශව සියල්ල  පැහැදිලියි නේ. උදාහරණයක් ගමු රට වෙනුවට ඔබයි ඔබේ පවුලේ නෑදැයෝ ටිකයි එකතු වෙල කඩයක් කරනවා කියල හිතමු.
ඔබ සහඔබේ පවුලේ අය  (ජනතාව) = කඩේ අයිතිකරු
චම්පික රණවක (ආණ්ඩුව)= කඩේ කරගෙන යන්න භාර දීපු කෙනා
නිලධාරින් සහ සේවකයින් = කඩේ මැනේජර් හා සේවකයින්
ඔන්න දැන් අවුරුද්දකට පස්සේ කඩේ පාඩු වෙලා. කඩේ කරන්නං කියල භාර ගත්තු චම්පික අවුරුද්දකින් ඔයා ලඟට ඇවිත් නිදහසට කරුණු ගොඩක් කියල  කියනවා කඩේ පාඩු උනා බිලියන 26 ක් ඒක වහගන්න බිලියන 26 දෙන්න කියල. යකෝ කොස් ඇටද සල්ලි රුපියල් බිලියන 26ක්. බිලියන ගානක් වටිනා කඩෙත් දීල තව සල්ලිත් ඉල්ලනවා. දැන් මොකද කරන්නේ. යවනවා බැංකුවට(භාණ්ඩාගාරයට)

මහාභාණ්ඩාගාරය යනු විදුලි බල මණ්ඩලය මෙන් රාජ්‍ය ව්‍යාපාරයක් නොවේ. එය ජනතාවගේ එනම් ඔබේ  මුදල් පෙට්ටගමයි.ඔබ  ඔබේ මුදල් කළමනාකරණය සඳහා  අර වගේම පවතින  ආණ්ඩුවට භාර දෙනවා ඔබ වෙනුවෙන්  කරගෙන යන්න. මෙතනදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිට තමයි දීල තියෙන්නේ ඔහු පීබී ජයසුන්දර නම් නිලධාරියා පත් කරලා තියෙන්නේ  මේ ඔබේ මුදල් කළමනාකරණය කරන්න. ඔබ ඔහුට මුදල් ඇමති හරහා උපදෙස්දී ඇත්තේ  සල්ලි දෙනවනම් හොඳට හොයල බලල සල්ලි දෙන්න කියල .

දැන් ඉතිං ආයිත් සල්ලි දෙන්න ඉස්සෙල්ල මේ ව්‍යාපාරය පාඩු උනේ ඇයි කියල ඔහුට හොයන්න වෙනවා. දැන් බලමු මේ රාජ්‍ය  ව්‍යාපාරයක පාඩු සිදු වෙන්නේ ඇයි කියල .
 1. රාජ්‍ය ව්‍යාපාරයක වැඩ කරනසභාපති,අධ්‍යක්ෂ මණ්ඩලය,කළමනාකාරිත්වය සහ සේවකන්ට හැගීමක් ඇති වෙන්න විදියක්නැහැකාර්යක්ෂමව වැඩ කරලා කොහොම හරි මේ ව්‍යාපාරය ලාභ ලබන්න ඕන කියල. මොකද පුරුද්දක් විදියට ඒ අය දන්නවා කොච්චර පාඩු ලැබුවත් අන්තිමේ ආණ්ඩුව සල්ලි දීල ඒ අය බේරා ගන්නවා කියල.
 2. රාජ්‍ය ව්‍යාපාරයක වැඩ කරනසභාපති,අධ්‍යක්ෂ මණ්ඩලය,කළමනාකාරිත්වය පත් කරන්නේ වැඩට දක්ෂ සහ මේ අදාල වැඩේට සුදුසුකම් තියන අය  නොවෙයි නේ වෙන්නේ දේශපාලනික හිතවත් කම් අනුව දේශපාලන උදව් කරුවන් මේ තනතුරු වලට දාන එකයි.
(හිතන්න ඔබගේ කඩේ කරන්න භාර දුන්න කෙනා වැඩ දන්නා මිනිස්සු වෙනුවට එයාගේ පවුලේ හිතවත් අයට රස්සා දෙනවා)
3. රාජ්‍ය ව්‍යාපාරයක  අයිතිකරු අපි ජනතාව් නැත්නම් කඩේ අයිතිකරු අපේ ස්‌වයං සුබසාධන පරමාර්ථ තමන්ට අයිති වයාපාරය හා පටලවා ගැනීමයි. උදාහරණයකට අපි හිතනවා විදුලි බල මණ්ඩලය පොදු දේපලක් අපේ දෙයක් නිසා ආණ්ඩුවෙන් අපිට නිකං අඩුවට දෙන්න ඕන මේක සේවාවක් කියල. (මෙතැන උදාහරණෙ කඩේ අයිතිකරු ඔබ සහ ඔබේ නෑයන් හැමදාම හවසට ගිහින් ගෙදරට කඩේ බඩු නිකං අරන් යනවා    කියල හිතන්න)
 මෙහෙම ගියාම මේක හැමදාම පාඩු වෙනවා හැමදාම් අතින් සල්ලි දාන්න වෙනවා. දැන් ඔබට ඕන තරම් සල්ලි තියනවද? නෑ බැංකු මැනේජර් කියනවා සල්ලි නෑ කියල. රටකට එහෙම සල්ලි නෑ ඉතින් පිට රටින් නය  ගන්න වෙනවා. ගිනි පොලියට.
  දැන් මෙතැන චම්පික පාඩු පියවන්න තව සල්ලි ඉල්ලනවා පී බී ජයසුන්දර බෑ කියනවා. දෙන්න ඇර ගන්නවා  ජනතාව අපි මේකේ අයිතිකාරයෝ විදියට  අපිට ගානක්වත් නෑ නේද. අපිත් උන්ටම බනිනවා හරිද? මේ රාජ්‍ය ව්‍යාපාරයක්  විකාර සහගත ලෙස පාඩු විඳින කොට මේකේ අයිතිකරුවන් වන අපිත් වැදගත් පාර්ශවයක් අපිත් මේකට වගකිව යුතුයි.

විධිමත් ලෙස කිව්වොත් රාජ්‍ය ව්‍යාපාරයක් පාඩු ලබන විට  ආණ්ඩුව, දේශපාලකයින්, බදු ගෙවන  ජනතාව සහ   බ්ලොග් කරුවන්ද ඇතුළුව ජනමාද්‍ය (මේවා පිලිබඳ දැනුවත් නොවීම  අන් අය දැනුවත් නොකිරීම යන කරුණ නිසා )   යන සියලුම පාර්ශවයන් වරදකරුවන්.

ලංකාවේ  අනේ අපි ඕවට නෑ (දේශපාලනයට)කියන හැමෝම ඉක්මනින්  වටහාගත යුතු කරුණ නම් රාජ්‍ය ව්‍යාපාර  පාඩු ලබන විට ඔබ සහ ඔබේ දරුවන් පාඩු ලබන බවත් දිනෙන් දින තව තවත්  නය කරුවන් වන බවත්ය.
පුරවැසියෙකු  ලෙස මා මගේ සල්ලි පෙට්ටගම භාර දී තිබෙන්නේ  භාණ්ඩාගාර ලේකම් වන අචාර්ය   පී බී ජයසුන්දරටයි. මා ඔහුට කියන්නේ මෙයයි දෙන්න එපා චම්පික රණවකට  එක සතයක්වත්. කරන්න බැරි නම් යන්න කියන්න කරන්න පුළුවන් කෙනෙක්ට දෙන්න. කරන්න පුළුවන් කෙනෙක් හොයාගන්න. ලංකාවේ නැත්නම් පිටරටකින් හරි. ක්‍රිකට් පුහුණුකරුවන් පිටරටින් ගෙනාවා වගේ ගෙන්න ගන්න පිටරටින්.

Tuesday, October 23, 2012

දෙගම්මාන අන්දරය. (ජල කළමනාකරණ ප්‍රශ්නය ඇසුරිනි)

ඔන්න එකමත් එක රටක ලස්සන කඳු යායක් මැද්දේ සුන්දර පුංචි ගමක් තිබුනා අවාසනාවකට මේ ගම අසලින් මනරම් ගඟක් නම් ගලාගෙන ගියේ නෑ .
හැම දෙයකින්ම ස්වයං පෝෂිත මේ ගමට තිබුන එකම අඩුව උනේ නුදුරේ ජලය නැති එක විතරයි. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් ගෙන්න ලිඳක් හාරමු කියල යෝජනාවක් ආව. 
ඉතින් එක දවසක්  ගමේ කීප දෙනා එකතු වෙලා  සහයෝගෙන් ශ්‍රමදානයක් දාල  හොඳ තැනක් හොයල නැකතක් බලල ලිඳක් හෑරුවා.
 වස  කම්මැලි උක්කුවා විතරයි ආවේ නැත්තේ අනෙක් හැමෝම සහයෝගය දුන්නා. කොළඹ වැඩට යන සේන ආවෙත් නෑ එත් එතින් එයාට නිවාඩු කොයින්ද?  
දවසක් වෙහෙසිලා ගැඹුරට හාරන කොට  මෙන්න වතුර හම්බුනා, දැන් ඉතින් ගමේ හැමෝටම සන්තෝෂයි. 
ඉන්පස්සේ කවුරුත් සතුටින් ජීවත් උනා.ටිකිරි මලී ලිඳට ගිහින් නාල කළේ උකුලේ තියාගෙන උදේට දීය ගෙන යන දසුන ගමටම එකතු කළේ හරිම සිරියාවක්.
ඉතින් ඔහොම ටික  දවසක් ගෙවිල ගියා.
කලක් යන කොට ලිඳ ගාව වල් බිහි වෙලා මොනවා උනත් ටිකිරිමලී කඩිසර කෙල්ල. ඒ කෙල්ල ලිද ගාව හැදුන   වල් පැල ටික ගලවවල වටේට සුද්ද පවිත්‍ර කරලා වතුර බැහැල යන කානුවත් සුද්ද කරනවා. මේ ලිද ලස්සනට පිරිසිදුව තියා ගන්න ඒ කෙල්ල වගේ හැමෝම උනන්දු නෑ.
මේ කාටත් පොදු ලිද හාරන දවසේ අර සවුදන් ජෙමා වගේ ඉන්න උක්කුවා  උදව්වට ආවෙත් නෑ එත් ඌ ඇවිල්ල දැන් යස අගේට වතුර ගන්නවා . ඒ මදිවට ලිඳ ළඟ හැඩි කරලත් දානව. මේ වැඩේට මලී ට ඌත් එක්ක හරි තරහයි.
කොළඹ වැඩ කරන සේන නම් ලිඳ පාවිච්චි කරන්නෙම නෑ එයා බෝතල් වතුර අරන් එනවා,ලිඳේ වතුර රසට එයා කැමති නැහැ. නාගන්නෙත් වැඩ පොලෙන්මලු .       
  සිරිපාලය ලිද එහා පැත්තේ ඉඩමේ එලවළු කොරටුවක් දාල. මිනිහ දැන් ගමේ අයට එළවලු විකුනනව. සිරිපාල එළවලු කොරටුවට වතුර දාන්නේ මේ ළිදෙන් අරන්  මිනිහ හවසට කොටුවට වතුර දැම්මම ලිඳ හිදෙනවා පැයක් දෙකක් යනකන් අනිත් අයට වතුර නෑ.
මලී කෙල්ල හැඩකාරි වගේම මොලකාරි  අසාධාරණේ පෙන්න බෑ. එකී කියනවා සිරිපාල අයියා ලිදේ වතුර එළවලු කොටුවට නිකං  දානව හැබැයි එළවලු දෙන්නේ පොලේ ගානටමයි. 
දැන් ඉතින් අවුරුද්දක් ගෙවිල ගියා අවුරුද්කට සැරයක් වත් ලිඳ ඉහින්න එපැයි. සෝමේ තමයි මේ වැඩේට කර ගැහුවේ එනවා කියපු අයගෙන් කීප දෙනෙක් ආවෙත් නෑ බනින්නත් බෑ සාදාරණ හේතු එක්කනෙක් සනීප නෑ. තව කෙනෙක්ට මලගේක යන්න වෙලා. 
මලී නගා තමයි ලිඳ ඉහන අයට කන්න උයල දුන්නේ. අනිත් අයට උනන්දුවක් නෑ කොහොම හරි වැඩේ කෙරෙනවා නේ.මේ වැඩේටත් කම්මැලි උක්කුවා සුපුරුදු පරිදි ආවේ නෑ. ඌ මගෑරිය.
එදා ඉරිදා දවසක් සේනට  නිවාඩුයි කලාතුරකින් මිනිහ ගෙදර ඉන්නේ. මිනිහ එළියේ වාඩිවෙලා පොතක් කියවනවා. අල්ලපු ගෙදර දයාවතී වැටෙන් එහා ඉඳන් නෝක්කාඩුවට වගේ  අහනවා
 "සේන ළමයෝ ලිඳ ඉහින ශ්‍රමදානෙට යන්නේ නැතෙයි.? අපේ එක්කෙනා නං අන්න ගියා."
 සේන මුකුත් නොකියා  හිනාවෙලා ආයිත් පොත කියවන්න ගත්තා  ඔතනින් යන මලී නගාටත් ඕක ඇහුනා. එකිටත් කට පියාන ඉන්න බෑ.
 "සේනයියා ඉතින් ළිදෙන් වතුර බොන්නෙත් නෑ නාන්නෙත් නෑ ලිඳට යන්නෙත් නෑ. අයියා මක්කටෙයි ඉහින්න එන්නේ. සේනයියාගේ නිවාඩු දවසේ එහා පොත බලපුවාම මොකද?"
මේකට දයාවතීට හරි කේන්තියි.
"අනේ උඹ අනුන්ගේ සීනි කිරන්නේ නැතිව පලයන්. උබත් මෙතැන වැට අයිනෙන්ම යන්නේ වෙන පාරවල් නැතිව වගේ සේනය මිදුලේ ඉන්න  හින්ද තමයි...(සක්ක්රවට්ටම), ගමේ පොදු වැඩේ නේ ගියාම මොකද වෙන්නේ."

කඳු යායෙන් එහා පැත්තේ මේ ගමට යාබදව තවත් ගමක් තිබුනා. මේ ගමේ හිටිය සුරසේන කියල දක්ෂ වෙළෙන්දෙක්. මිනිහ පිටරටකත් ගිහින් මුදල් හොයාගෙන ඇවිත් තිබුනා. මිනිහ හැමදෙයක් ගැටළුවක් දිහාම බලන්නේ  වෙළඳාම පැත්තෙන් තමයි. මිනිහට හිතුන මේ තමන්ගේ ගමේ තියන ජල ප්‍රශ්නයට විසඳුමක් දෙන්න පුලුවන්නම් එකත් හොඳ වෙළදාමක් වෙන්න පුළුවන් කියල.
 මිනිහ තමන්ගේ ළඟ තිබුන මුදල්  ආයෝජනය කරලා නල ලිං තාක්‍ෂණය ගමට ගෙනල්ල තමන්ගේ ඉඩමක නල ලිඳක් හදල අඩි ගානක් උඩින් ගමටම සෑහෙන්න වතුර දෙන්න ටැංකියකුත් බැන්දා.
සුරසේන මීටර් හයි කරලා වතුර වලට මුදල් අය කරනවා. සල්ලි තියන අය මුලින් සුරසේන ගේ පයිප්ප වතුර ගෙදරටම ගත්තා.  වතුර බිස්නස් එක නැගල ගියා. 
දැන් මිනිහ ගමේ ජිනසේන ගේ  ගොවිපලටත් මුදල් වලට වතුර සපයනවා. වතුර හොඳට තියන නිසා මිනිහගේ කොරටුව සරුසාරයි . වැඩිත් එක්ක පලදාව . ගොවිපලත් නැගල ගියා  අවට නගර වලටත් එළවලු සපයන්නේ මේ ගොවිපල . මේ ගොවිපලේ දැන් බරගානක් ගමේ මිනිස්සු වැඩ ඒ අයත් හොඳ පඩියක් ගන්න නිසා දැන් ඒ අයටත් සූරසේනගේ පයිප්ප වතුර ගෙදරටම ගන්න සල්ලි තියනවා. දැන් ගම්  ඒ ගමේ කවුරුත් පයිප්ප වතුර පාවිච්චිය.
 සුරසේනය නම්  මේ වෙළදාමෙන් සෑහීමකට පත් උනේ නෑ, මිනිහ වතුර වෙළදාමෙන් එකතු වුන සල්ලි  ඔක්කොම දාල තව නල ලිඳක් ගැබුරට විදලා වතුර බෝතල් කරන ෆැක්ටෙරියක් ගමේ දානවා. දැන් නගරේ සංචාරක හෝටල් වලට වතුර බෝතල් දාන්නෙත් සුරසේන. වතුර බෝතල් ෆැක්ටරියත් නැගල ගියා දැන් පිටරට වලට පවා වතුර බෝතල් යවනවා. ගමේ මිනිස්සු ඔක්කොටම රස්සා තියනවා.
  ඒ ගමේ ඉගෙන ගන්න දක්ෂ නිමල් තමයි කොම්පැනියේ ඉහලම තනතුර දරන්නේ. ඒ ෆැක්ටරියේ අවම වැටුප ගන්න කම්කරුවට පවා අර මුලින් කියපුඅල්ලපු ගමේ  පොදු ලිඳ තියන  මලී ලගේ  ගමේ ලොකුම සල්ලිකාරයට වඩා මුදල් තියනවලු.
 මේ කාලේ වෙනකොට මං අර මුලිං කියපු පොදු ලිඳ තිබුන ගම එදා විදියමයි ඊළඟ අවුරුද්දේ ලිඳ ඉහලත් නෑ පොදු දේපල බෙදාගන්න, නඩත්තු කරන්න .  හැමදාම අවුල් ප්‍රශ්න විතරයි. මලීත් සේනව කසාද බැඳලා අර අල්ලපු ගමට පදිංචියට ගිහින්. සේනට අල්ලපු ගමේ සුරසේනගේ වතුර බෝතල් ෆැක්ටරියේ සෙකුයුරිටි  රස්සාවක් ලැබිල.
 සිරිපාලගේ එළවලු කොටුවත් ඈලියාවට ගිහින්.මලී ගමේ නැති නිසා පොදු ලිඳ වල් වැදිලා. දුප්පත් කමට බැන බැන ආයිත් පරණ පුරුදු විදියට ඈත වැවට ගිහින් මිනිස්සු   වතුර ගේනවලු. මැම්බර් මහත්තය නම් වතුර පයිප්ප දාල එහා ගමේ සුරසේනගෙන් වතුර අරන්.  
අර ඒ ගමේ හිටිය ඔපදූප  හොයන දයාවතිගේ ලොකු කොලුවා දැන් ලොකුයි රස්සාවක් නෑ මොකක්ද මේ. ගම්  වී. පී. ද මොකක්ද විප්ලව කරන පක්ෂෙකට බැඳිලා හන්දියේ කඩේ ගාව තෙල බෙදනවලු  අල්ලපු ගමේ සුරසේන ල අර ගොවිපල අයිති ජිනසේනල එකතු වෙලා  ධනපති ඒ ගම  අපේ ගම සූරාකෑම නිසා තමයි අපි දුප්පත් වෙලා තියෙන්නේ කියල.

Sunday, October 21, 2012

බෝට්ටු මිනිස්සු

ලංකාවේ හොඳ මිනිසුන් අතර නරක මිනිසුන් පිරිසක් ඇත මේ අය නීති විරෝධී ලෙස බෝට්ටු වල නැගී මේ ලස්සන රට හැරදා ඔස්ට්‍රේලියාවට පැන යාමට උත්සාහ කරයි මේ අය මෙසේ කරන්නේ නිකම් විය නොහැක රජයෙන් මෙතරම් සුභ සාධන සපයන හැම දෙයක්ම අධ්‍යාපනය සෞක්‍ය නොමිලේ  නිදහසේ දෙද්දී  හැම දෙයක්ම මුදල් ගෙවා ගත යුතු  කසිකබල් ධනවාදී  රටවලට මෙසේ යන්නේ අධිරාජ්‍යවාදී  කුමන්ත්‍රණය  කරුවන් මේ අයට අත යටින්  ඩොලර් කුට්ටි දී අපේ රටට අපහාස කිරීමට පැන යන්නයි කියන නිසා විය යුතුය.
නැත්නම් කොයින්ද මුන්ට බෝට්ටු කුලිය?
මෙවැනිම තත්වයක් කලක පටන් හෙයිටිය නම් රටෙත් පවතී මේ රටේ සියල්ලම සරණාගතයන් ලෙස රටින් පැන වෙන රට වලට ඇදෙයි.
 මේ හයිටියට සැතපුම් 50 පමණ එහායින් ඇත්තේ සමාජවාදී  කියුබාවයි.අපේ රටේ වාමාංශිකයින් ට අනුව  වැඩකරන පීඩිත ජනතාවගේ පාරාදීසය මෙයයි. ධනපති නරක ඇමරිකාව ඇත්තේ හයිටියෙන් සැතපුම් 500  ක් පමණ ඈතිනි.
මට ඇති ගැටලුව මේකයි.
මේ හයිටියෙන් සරණාගතයින් ලෙස බෝට්ටු වලින් යන අය ඇයි එච්චර ළඟ සැතපුම් පනහක් දුරින් තියන  තියන සමාජවාදී පාරාදීසය කියුබාවට යන්නේ නැතිව ජීවිත පරදුවට තියල මුහුදේ සැතපුම් 500 ක මාරාන්තික ගමනක් ගිහින් ඇමරිකාවටම පනින්න  හදන්නේ. මුන්ට අමු කැවිලද ? මොලේ නැති කාපිරි මෝඩයෝ.
අපේ රටේ ඉදන් පැනල යන අයනම් එච්චර මෝඩයෝ නොවෙයි. ළඟ තිබුනනම් යන්නේ  සමාජවාදී පාරාදීසය උතුරු කොරියාවට  ඔස්ට්‍රේලියාව මෙහා තිබුන නිසා  ඔන්න ඔහේ එහෙට යනවා. නැත්තනම් ලංකාවේ කවුද කැමති ඔය ධනපති රටවල් වලට.


Friday, October 19, 2012

මාරයා ,මාතලන්, බුවා සහ සරත් ෆොන්සේකා.

සරත් ෆොන්සේකා මහතා නිදහස ලැබීමෙන් අනතුරුව නව විපක්ෂ සන්ධානයක් සැදීමට ගන්නා උත්සාහයේ  පළමු පියවර ලෙස සවිධානය කර තිබු රැස්වීමෙන් පසු  දේශපාලනික කරුණු ගැන උනන්දුවක් දක්වන බ්ලොග් කරුවන් සිය අදහස් දක්වා තිබුනා.
ඒ අතරින් මාරයාගේ කවිය සහ ලිපිය, බුවා ගේ සිතුවිලි සහ මාතලන් යන තිදෙනාගේ විග්‍රහයන් වැඩි අවදානයට ලක්වූ ලිපියයි කීවොත් මා නිවරිදියයි සිතමි.
මේ තිදෙනාම රැස්වීම  අසාර්ථක වී ඇති බව එකග වෙන අතර ඔහුට වැරදුනේ ඇයි සහ ඔහු කල යුත්තේ කුමක්ද යන කරුණ අතර විෂමතා තිබුනා.  ඔවුන් සියලුම දෙනා රැස්වීමේ අසාර්ථක බව ප්‍රධාන මිනුම් දඩු තුනක් යටතේ ව්ග්‍රහ කරනු ලැබුවා.


  1. කිසිම ජාතික දේශපාලන පක්‍ෂයක නායකයන් සහභාගී නොවීම.
  1. මංගල සමරවීර ,ජ.වී.පෙ.,ටිරාන් අලස් ඇතුළු ඔහුව ජනාධිපතිවරණය ට තරඟ කරන්න අනුබල දුන්(ඔහුව ඇන්දවූ )කිසිවකු නොපැමිණීම.
  1. අඩු ජනතා සහභාගීත්වය සහ අධික වර්ෂාව.


මාරයා
මෙහිදී මාරයා සිය අව්‍යාජ අදහස  නිරවුල්ව නොබියව  කියා තිබුනා.  මට වැටහෙන විදියට ඔහුගේ කවියේ සහ ලිපියේ සංක්ෂිප්තඅදහස මේ වගේ දෙයක්
 මංගල රනිල් සහ ජවිපෙ හිටපු ජෙනරාල් වරයා අන්දවා රවටා අතරමං කරනු ලැබුවා ඔවුන්ගේ යටි අරමුණ වුයේ මාරයාගේ ප්‍රමිතියට අනුව බලයට නොසුදුසු  හැලපේනිස් කෙනෙකු වන රනිල් වීක්‍රමසිංහ  සරත් ෆොන්සේකාගේ  කර මතින් බලයට පත් කිරීමයි. මාරයා කියන්නේ මෙවැන්නකි ජෙනරාල් තුමනි මහින්දට වගේම  මං ඔබටත් කැමතියි . ඔබතුමා හොඳ පාඩමක් ඉගෙන ගත්තා නේද දැන්වත් කැලේ  පාරේ යන්නේ නැතිව හරි පාරට එන්න වැනි දෙයකි. මෙම ජෙනරාල් තෝරාගත යුතුව තිබෙන හරි පාර  පාලක රෙජීමය හා සහයෝගයෙන් කටයුතු කිරීම  මාරයා දරන අදහස බවයි ඔහුගේ ලිපිය අනුව මට හැගෙන්නේ.
බුවා
බුවාගේ  සිතුවිලි ලියන ලේඛකයාගේ අදහස වන්නේ සරත් ෆොන්සේකා ගේ ස්ව කැමැත්තට අනුව කැමති දේශපාලන මාවතක් තෝරාගැනීමට ඇති ඔහුගේ අයිතියට ගරු කරන බවත් නමුත් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයකට එකතු නොවී ඔහුට කිසිවක් තනිව කල නොහැකි බව මෙම රැස්වීමේ අසාර්ථකත්වය මගින් ගම්‍ය වන කාරණය යයි ඔහු අවධාරණය කරනවා. මෙහිදී ඔහු නිසැකවම මාරයාගේ යෝජනාව වන පාලක රෙජීමයේ අසුන් ගන්නවාට විරුද්ධ වන අතර දැනට දෙකඩ වී ඇති පක්ෂ වන එජාපයේ සහ ජවිපෙ යමග යා යුතුද හෝ මේ  බිදී ඇති මේ පක්ෂ වල කුමන කල්ලිය හා එකතු විය යුතුදැයි පැහැදිලිව නොකියයි.
මාතලන්
මාතලන් සිය ලිපියේ සියලු කරුණු වලින් මාරයාට සමාන අදහසක් දරන අතර එහි ප්‍රතිචාර  තීරයේ  කොමෙන්ටුවක් දමමින් මාරයා ඒ පිලිබදව අමන්දානන්දනයට ද පත්වී ඇත. ජෙනරාල් ඉදිරියේදී දැරිය යුතු දේශපාලන ආස්ථානය පිළිබද උපදෙස් මාතලන් නොදෙන අතර  දේශපාලන කපටින්ගෙන් ප්‍රවේසම් වීමට පමණක් යෝජනා කරයි.
සරත්ෆොන්සේකා ට මහින්ද අනිකා කර නොගෙන දේශපාලන විභවයක් තිබේද
ඉහත සියලු දෙනාට වෙනස්ව මා සිතන්නේ සරත් ෆොන්සේකාට දේශපාලන අනාගතයක් නැත්තේ ඉහත රැස්වීම අසාර්ථක වූ නිසා හෝ කපටින්ට අසුවීම හෝ  රනිල් වෙනුවට ජනාධිපතිවරණයට ගිය නිසා හෝ නොව තමන්ගේම කියා දේශපාලන ප්‍රතිපත්තියක් නොමැති නිසාය. මහින්ද නරක නිසා රනිල් චන්ද ගැනීමට නොහැකි පොන්නයකු නිසා මේ දෙදෙනා අනෙකා කරගෙන සහ යුද්ධය දිනූ හමුදා පති වී සිටීම පමණක් විකල්ප නයකත්වය සඳහා සුදුසුකමක් යයි සිතීම සරත් ෆොන්සේකා වෙලා ගෙන ඇති මායාවයි. 
 ඉක්මන් කොටයි
සමහරක් ට අනුව රට දිනෙන් දින ආශ්චර්ය කරා ගමන් කරයි මේ කියන ආශ්චර්ය අභාග්‍යයකි යයි ,ආපසු ගමන් කිරීමක් යයි  සිතන සුළුතරය ඉදිරියේ   පැහැදිලි නිරවුල් විකල්ප ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්නේ නම් සරත් ෆොන්සේකාට නායකත්වය සඳහා අවශ්‍ය පෞර්ෂත්වය අවශ්‍ය තරමටත් වඩා ඇත. මේ සදහා රැස්වීම් වලට එන ඔළුගෙඩි ගණන එතරම් වැදගත් සාධකයක් නොවේ. සරත් ෆොන්සේකා ඉක්මන් වනවා වැඩිය. ඉක්මන් කොටයි යන සරල කියමන මේ අසාර්ථක රැස්වීම තහවුරු කරයි. 
මගේ පුද්ගලික අදහස
මාරයා මෙන් මගේ මගේ පුද්ගලික  අදහස අවසාන වශයෙන් මෙහි දක්වමි.දේශපාලනය තුල කෙටි මං නැත මහින්ද රට කරවන ක්‍රමයට විරුද්ධ නම් හා ප්‍රධාන ධාරාවේ දේශපාලනයේ නිරතවීමට අවැසි නම්  සරත් ෆොන්සේකා  කල යුත්තේ තමා දරන ප්‍රතිපත්ති වලට වඩා ගැලපෙනප්‍රධාන ධාරාවේ පක්ෂයේ (එජාප?) සාමාජිකත්වය ගෙන තමාගේ අවස්ථාව එනතුරු ඉවසීමෙන් කැපවීමෙන් වැඩකිරීමයි. මෙහිදී තමනට පැහැදිලි දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියක් තිබේනම් සජිත්, කරු වැනි පුස් චරිත පරදවා එජාපය තුල  රනිල්ට තරගයක් දීමට සරත් ෆොන්සේකාට වැඩි කලක් ගත නොවනු ඇත. ඔහුට ඇති අනික් පහසු විකල්පය නම් මාරයාගේ යෝජනාවට එකඟ වීමයි.
ප.ලි. /හිරෙන් නිදහස් වීම සඳහා ටිරාන් මහින්ද සරත් ෆොන්සේකා සහ බිරිඳ පමණක් දන්නා අප නොදන්නා  රහස් ගනුදෙනුවක් නොමතියයි උපකල්පනය මත ලිපිය ලියා ඇත.

Wednesday, October 17, 2012

නිව්යෝක් හි කොත්තු කඩේ

නිව්යෝර්ක් නගරය යනු  නගර (බරෝස්) 5ක් එකතු වී සෑදුන අති විශාල පුරවරයකි. පිලිවෙලින් මේවා මෑන් හැට්න්, බ්රූක්ලීන්, ක්වීන්ස්, බ්රෝන්ක්ස් සහ ස්ටැටන් දුපත යනුවෙන් හැඳින්වේ . මේ නගර පහ අතුරින් ප්‍රධානතම නගර කේන්ද්‍රය වන්නේ මෑන් හැට්න්  බරෝවයි. කුඩා චීනයක් වන් චයිනා ටවුන් ඇත්තේද මෙම බරෝවේ යි.සුවිසල් හඩ්සන් නදිය මහුදට වැටෙන ඩෙල්ටාව අසබඩ ඉදිවී ඇති නිසා ලොව ලොව විශාලතම ස්වභාවික වරායද මේ ආශ්‍රිතව ඇත. 
කලකට ඉහත නිව් යෝර්ක් නගරයට සංක්‍රමණය වූ ශ්‍රී  ලාංකිකයින් සිය වාසස්ථානය කර ගත්තේ   මෑන් හැට්න් සිට බෝට්ටුවකින් හඩ්සන් ද්‍රෝණිය එතෙර වී යා යුතු  ස්ටැටන් දුපත නම් උප නගරයයි.
නිව් යෝර්ක් නගරයේ සිට හැම පැය භාගයකට වරක්ම  ස්ටැටන් දුපත වෙත යන සහ ආපසු එන   මේ බෝට්ටු සේවය නොමිළේ සැපයෙන්නෙකි.
මේ තියෙන්නේ ඒ ෆෙරි බෝට්ටුවක්.
මේ දුපතේ ඉන්න විශාල ශ්‍රී ලාංකික ජනගහනය නිසා නිව් යෝර්ක් නගරයේ කුඩා ශ්‍රී  ලංකාව ලෙස බොහෝ විට මෙය හදුන්වනවා. 
මේ දුපතේ බස් නැවතුමක් 
ඇත්තටම ඔබ මේ දුපතේ බස් රථයකට හෝ ස්ටැටන් දුපත වෙත යන  එන  බෝට්ටුවකට නැගුන කෙනෙකුට සිංහලෙන් කතා කරන සංවාදයක් සවනට වැටිය හැකි අවස්තාව වැඩියි.
මේ බ්ලොග් සටහන ලියන්න  හිතුන ආසන්නතම හේතුව මේ එකක්වත් නොවෙයි ඒ  මේ දුපතේ පිහිටා තිබෙන අපේ කෑම කඩ.
 මාළු පාන් එළවලු රොටි කොත්තු රොටි වල ඉදන් ඕනෑම ලකාවේ කෑමක් කන්න පුළුවන් කඩ සෙට් එකක්ම මේ පුංචි දුපතේ තියනවා.
 සමහර සුදු අප්පුහාමිලත් මේ අපේ කෑම වලට රහ වැටිලා සෙනසුරාද ඉරිදට බෝට්ටුවට නැගල මේ පැත්තට එනවා අපේ කෑම කාල යන්න. මේ තියෙන්නේ අපේ කෑම කඩ සෙට් ඒක ගැන නිව්යෝක්හි  ප්‍රචාරය වූ වීඩියෝවක්. බලන්න අපේ කොත්තුවේ සද්දේ නිව් යෝර්ක් වලින් ඇහෙන හැටි.

Monday, October 15, 2012

මීළඟට රනිල්,බැසිල්,ගෝඨා එපා මර්වින් සිල්වා ජනාධිපති කරමු?

මේ  බ්ලොග් සටහනේ මාතෘකාව පාඨකයා  කිසිම  විදියකින්   හාස්‍ය රසය මතු කිරීමක් යයි වරදවා වටහා ගන්න එපා. එය අද උදෑසන ගොසිප් 9 වෙබ් අඩවියේ පුවතක්  සහ අපේ සමාජයේ ඒ පුවතට ලැබුන ප්‍රතිචාර දැකීමෙන් පසු  මට සිතුනු අවංක කල්පනාකාරී සිතුවිල්ලකි.
 අපේ රට ගමන් කරන්නේ කුමන ඉසව්වක් කරාදැයි ඔත්තුවක් ඉතා නිවැරිදිව මාරයාගේ හෝරාව බ්ලොග් සටහනක බුවාගේ සිතුවිලි බ්ලොග්කරුවා විසින් දී තිබුනා  මේ සටහනට එයත්  අනුබලයක් වුනා. ඔහු කියා තිබු උදාන වාක්‍යය මේකයි
//ශ්‍රි ලාංකීය සමාජය ක්‍රමයෙන් වෙනස් වෙමින් යන බව මාගේ නීරික්ෂණය වන අතර එය භාහිර ලෝකයට සාපේක්ෂව ආපසු ගමනක් වුවත් බහුතර ශ්‍රි ලාංකිකයින් දරනා මතවාදයන් අනුව ඔවුනට වඩාත්ම ගැලපෙන සමාජය බිහි වෙමින් පවතිනා බැව් මාගේ හැඟිමයි//.
ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ අව්‍යාජ අදහස  දැනගැනීමට සූචකයක් ලෙස නම් අප යා යුත්තේ බරපතල විදග්ධඅදහස් කියන බ්ලොග් වලට නොව ගොසිප් වෙබ් අඩවි වලයි.  ලකාවේ ඉදිරි අනාගතය තීරණය කරන්නේ මේවයේ කොමෙන්ට් දාන මිනිස්සුන් වැනිම අදහස් ඇති චන්ද බලය හිමි සාමාන්‍ය මිනිසුන්ය.

රටේ විධායක ජනාධිපති පත් වන්නේ බහුතරයේ කැමැත්ත අනුවයි. බහුතරයේ කැමැත්ත යනු   හරි  හෝ වැරදි දෙය අනුව තීරණය වන්නක් නොවේ උදාහරණයක් ගතහොත් නුදුරු අතීතයේ පවා ඇමරිකාවේ බහුතර මතය වුයේ කළු ජාතිකයින් සුදු ජාතිකයන් සමග එකම අවන්හලක කෑම කෑ නොයුතු ජාතියක් ලෙසයි.හිට්ලර් මහා ජන සංහාරයක් කරේ එරට බහුතර ජනතාවගේ කැමැත්ත අනුවයි.

ඉතින් රටක ජනාධිපතිවරයා වරයා යනු  එරට බහුතර ජනතාවගේ කැමැත්තෙන් පත්වෙන බහුතරයේ අදහස් මෙන්ම අදහස් දරන පුද්ගලයෙකු මිස මඩෙන් මතුවූ නෙළුමක් නොවේ ඔහු බහුතර මතය අපි වෙනුවෙන් කර දෙන්නාය. ලාංකීය උදාහරණයක් දෙන්නේ නම් ප්‍රභාකරන් මරා දමා අත්වල ලේ ගා ගැනීමට සිහිනෙන්වත් පව් නොකරන බෞද්ධයන් වූ අපිට බැරි නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අප වෙනුවෙන් ප්‍රභාකරන් මරා දමා අපිට නිදහසේ ඉන්න රටක් හදා දෙනවා. අපි වෙනුවෙන් ඕනෑම පව්‍  වැඩක් පවා කරන්න සිදුවෙන  සියලු බහුතරයේ කැමැත්ත තමා පිට තබා ගෙන බර ඇදගෙන යන කෙනා තමයි විධායක ජනාධිපති කියන්නේ.

     මෙන්න මේ මම ඉහත පෙන්වලා දුන්න විදියට බහුතර මතය යනු හරි නිවැරිදි දෙය නොවන නිසා තමයි  ප්‍රජාත්‍රන්තවාදී රටක මේ  බහුතර මතයට පිටින් ක්‍රියාත්මක වන විධියට විධායකය  වගේම සමාන බලයකින් යුත් අධිකරණයක් ස්වාධීනව පවතින්නේ. ඒ කියන්නේ උදාහරණයකට  අධිකරණයක විනිසුරුවරයෙක් තීරණයක් දෙනකොට බහුතරයේ වැඩි මතය, චන්දයෙන් පත් වූ අයගේ මතය හෝ සිය පෞද්ගලික මතය පවා නොසලකා හැර පවතින නීතිය යුක්තියට අනුකූලව පමණයි නඩු තීන්දුවක් දිය යුත්තේ.

 ඉතින්  අපි රටක් වශයෙන් දිනෙන් දින වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරනකොට විධායක බලය සඳහා අපි පත්කරගන්නේ  බහුතර අපිට වැඩියෙන්ම ගැලපෙන අදහස් තියන නායකයින්. අපේ රටේ මීළඟ ඉදිරි නායකත්වයට ශක්‍යතාවක් පෙන්වන කෙටි ලැයිස්තුව සලකමු.
1.රනිල් වික්‍රමසිංහ
2.  බැසිල් රාජපක්ෂ
3 . ගෝඨාභය රාජපක්ෂ
4 . සරත් ෆොන්සේකා
 රනිල් වගේ කෙනෙක්ට ජනාධිපති වෙන්න පුලුවන්ද? ඔහු වඩාත් ගැලපෙන්නේ හරි වැරද්ද තීරණය කරණ  අධිකරණයක විනිසුරෙක් වගේ කෙනෙක්ට ට මිස බහුතර ජන මතය නියෝජනය කරන කෙනෙක් නොවෙයි නේද?
බැසිල්  ගත්තත් එහෙමයි සාකච්ඡා කරලා විශ්වවිද්‍යාල අචාර්ය වරුන්ගේ ප්‍රශ්නය විසදන්න   උත්සාහ කරපු පුද්ගලයෙක් අපේ බහුතර ජනතාව එහෙම අයද?නැහැනේ ප්‍රශ්න විසදන්නේ ගහල මරල බලහත්කාරයෙන් ඉතින් මේ බැසිලුත් එතරම් බහුතර මතය එක්ක යන කෙනෙක් නොවෙයි.
ඔන්න  ගෝඨාභය ටිකක් බහුතර මතය දරන අපි වෙනුවෙන් ඕන පවක් අපිට කරලා දෙන්න ලැස්ති කෙනෙක්. අපි වෙනුවෙන් හිගන්නෝ පවා එලවල දාල කොළඹ නගරය ලස්සන කරන්න උත්සාහ කරපු කෙනෙක්.
බොහෝවිට බහුතරය සමග එකග සරත් ෆොන්සේකා  ලංකාවේ විධායකයට පත්වීමේ ශක්‍යතාවයක් ඇති මුත්   සුළුතර මෝඩ වම්මු එක්ක එකතු වී වැඩේ අනාගන්නා බවක් පෙනේ.
ඉතින් රටේ මීළඟ ඉදිරි නායකත්වයට සලකා බැලිය හැකි දිගු ලයිස්තුවේ ඉන්න අය කවුද
නාමල්, මර්වින්, එස් බී , කරු , මංගල , අනර්කලී, මුතුහෙට්ටිගම..යනාදී වශයෙන් ගත්තම මට හිතෙන විදියට නම් මර්වින් සිල්වා තමයි අපේ රටේ බහුතරයේ අදහස් ක්‍රියාත්මක කරන්න  වැඩියෙන්ම ගැළපෙන්නේ. අපි වෙනුවෙන් ඕන පවකට කර ගහල අපිට ඕන දේවල් කර දෙන්න අචාර්ය මර්වින් සිල්වා තරම් සුදුසු පුද්ගලයෙක් ලංකාවේ දේශපාලන කරලිය තුල ඉන්නවාද? මා කියන්නේ ඔහුට  ඉහත කෙටි ලයිස්තුවට උසස් වීමක්   දී මීලග නායකයා ලෙස සලකා බැලිය යුතුයි.
නැවතත්  කියමි හාස්‍ය රසය මතු කිරීමක් යයි වරදවා වටහා ගන්න එපා.මේ ගැන ඔබේ අදහස කුමක්ද?

 

Thursday, October 4, 2012

අපිට විලංගු දාන්න

මා මීට පෙර ලියූ රජයේ දේපොළ ,විලාසිතාව හා යථාර්ථය ලිපියේ තාරක/ඇනෝ මතුකර තිබුනා අපූරු තර්කයක්. මගේ එම ලිපියේ මතු කරපු දේ තමයි   ප්‍රායෝගික ලෝකයේ  සමාජවාදී ආර්ථික වත් පිළිවෙත් ක්‍රියාත්මක රටවල් හා  ධනවාදී නිදහස් ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක කරන රටවල් සංසන්දනය කිරීම. මෙහිදී මා එන නිගමනය තමයි හැමෝටම සමව බෙදාදීම පොරොන්දු වුවද ඇත්ත ලෝකයේ සමාජවාදී  අදහස්  වලින් හැමෝම දිළින්දන් වී කාටවත් මුකුත් නැතිවී යන හැටිත් (අපේ සිරිමාවෝ 70-77 යුගය හිටපු අය දන්නවා) සැමට සමානව සලකන්නේ නැති ධනවාදය තුල   සල්ලිකාරයින් හා දුප්පතුන්, ජයග්‍රහකයින්,පරාජිතයින් සිටින  නමුත් මේ විෂමතාවයන්  ඇති කිරීමෙන් පසුව පවා මුළු රටක් ලෙස ගත් විට වැඩි පිරිසක් ධනවත් වී වැඩි පිරිසක් දිනා ඇත යන්නය. එයට  ප්‍රතිචාර ලෙස  තාරක/ඇනෝ මතුකර තිබුනා අපූරු තර්කයක් මේ තර්කයේ සුවිශේෂී අපුර්වත්වයක් තියනවා  මොකද මේ මං ගෙනෙන තර්කය කියපු ගමන් සාමානයෙන්  වම්මු  කියන්නේ මෙන්න මෙහෙම දෙයක්.  " ඔයි  කියන කඩා වැටුන රටවල හරි සමාජවාදය තිබුනේ නෑ. නියම සුපිරිසිදු කොමිනියුස්ට් වාදය තාම ආවේ නෑ ඒවායේ තිබුනේ/තිබෙන්නේ  හුදු ඒකාධිපතිවාදයක් විතරයි" යන්නය ( මේ ඒකාධිපතියන් නිතරම පාහේ කොමිනියුස්ට් රටවලින් පුදුම සහගතව බිහිවෙයි).   තාරක/ඇනෝ  ගේ  පිළිතුරේ සුවිශේෂී බව තමයි ඔහු ගේන්නේ මේකේ ප්‍රති තර්කය . එනම් මෙක්සිකෝව, ලතින් ඇමරිකාව, අපි , ලෝකයේ සීයට අනුවක්ම  ධනවාදී  රටවල් . ඇයි එහෙනම්  ඒ රටවල් අගාධයට වැටිලා තියෙන්නේ කියන එකයි.
 //ඉතින් ඵහෙනම් අවුරුදු 65ක් තිස්සේ දනවාදය අනුගමනය කරපු කොළඹ ජෝන් ලා යෑන්කි ඩිකිලා හිටපු අදටත් අපේ කෑබිනට් ඵකේ සෑලකියයුතු ගනනක් ඈමරිකන් පුරවසියන් ඉන්න අපේ රට දිනෙන් දින වල පල්ලට යන්නේ ඈයි?
ලෝකයේ සමාජවාදි රටවල් වශයෙන් හදුනාගන්නා චීනය කියුබාව උ.කොරියාව වියට්නාමය හා ලඕසය හෑර සියලු රටවල් ලිබරල් ක්‍රමය නේද අනුගානමය කරන්නේ.මේ රටවල් වලින් 90%ක් තාම තුන් වෙනි ලෝකයේ ඉන්නේ ඈයි.සෝමාලියාවෙ ඉදන් ඉන්දියාව වෙනකන්ම ලිබරල් ආර්තිකය අනුගමනය කරන අති බහුතර රටවල රටේ ජනගහනයෙන් අති බහුතරය දිලින්දන් ඵහෙමත් නෑතනම් යන්තමින් ඵදාවේල හොයාගන්නන්.ඵහෙම වෙන්නේ ඈයි???දනාවාදී ඈමරිකාවේ නෑති දූශනය හිතවතුන්ට සග්‍රහය නීතිය හා සාමය අහිමි වීම පරිදියේ තියන දුප්පත් දනවාදී රටවල ඵන්න ඵන්න වෑඩි වෙන්නේ ඈයි???
අනික දනවාදය යනු ලිබරල් නිදහස් වෙලදපොල ක්‍රමය නෙවෙයි නම් මොකක්ද?අපි දන්න විදියට දේශපාලන විද්‍යා මූලදර්ම වල ඵන විදියට , දනවාදය කියන්නේ ලිබරල් වෙළදපොල ආර්තික ක්‍රමය හෑර වෙන ඵකක නෙවෙයි.
ඔයා කියන ඔය දනවාදී පහසුකම් ලෑබෙන්නේ දනවාදී අදිරාජ්‍යයේ ප්‍රදාන රටවල් කිහිපයට විතරයි යාලුවා.
අපේ වගේ පරිදියේ තියන පසුගාමී දනේශ්වර රටවල් තියාගෙන ඉන්නේ උන්ට සෑප ගන්න අපේ සම්පත් ශ්‍රමය මකොල්ල කන්න විතරයි.// 
Anonymous
 දැන් අපි ඔහු අසන මූලික ගැටළුව දිහා බලමු. මේ අනුව ඇනෝ තර්කයේ  සාරශය තමයි සෝමාලියාවෙ ඉදන් ඉන්දියාව වෙනකන්ම  රටවල් ධනවාදීයි ඒත් ඒවායේ බහුතරය දිළින්දන්. මේ නිසා    ඔහුගේ නිගමනය තමයි ඇමරිකාව  සහ දියුණු  බටහිර රටවල් දියුණුවේ රහස  නිදහස් වෙළද පොළ ධනවාදය නොවෙයි අන් පරිවාරයේ රටවල් සූරාකෑම. මීට අමතරව  තියන දකුණුකොරියාව,සිoගප්පුරුව  කියන්නේ ලෝකබෑoකුව විසින් ලෝකේ දුප්පත් රටවල් අතිවිශාල ගානක් කොල්ලකාලා ඵ් මුදලින් ඉතා සුලු ප්‍රමානයක් පොම්පකරලා හදපු ආදර්ශ රටක් විතරයි කියන ඒක.
ලංකාව  ධනවාදී රටක්ද?
ඈත ඉතිහාසයේ අප දන්නා රජකාලේ පටන් 1958 දක්වා ශ්‍රී ලංකාව  නිදහස් වෙළද පොළ ධනවාදය ක්‍රියාත්මක වුනු  වාසනාවන්ත රටකි.නිදහසේ හුවමාරුවුයේ සේද මාවතේ ආ භාණ්ඩ පමණක් නොව ආගම් පවා නිදහසේ අපේ රටට පැමිණියහ. බුදු දහමද එවැන්නකි.  එතෙක්  නිදහස් ආර්ථිකයක් තිබූ  ලංකාවට මාක්ස් ගේ අවතාරය 1956 දී පමණ  අමුතු ලාකීය වේශයක් ගෙන කඩා වැදුන අතර 1958 දී සිය බලය තහවුරු කරගන්නා ලදී. එතැන් පටන් 1977 දක්වා දශක දෙකක් පැවතියේ ලංකාවේ අදුරු යුගයයි.  දැඩි ආනයන පාලන නීති සහ හුවමාරු සීමාකිරීම් සමග රාජ්‍ය විසින්  සමාජය යාන්ත්‍රනය  ලංකාව තුල තහවුරු විය. 1977 දී ජේ  ආර් යම්තාක් දුරට ලිහිල් කරන තෙක් වසර විස්සක් පුරා පැවති මේ, රජය විසින් කරන සමාජය යාන්ත්‍රනය (Social Engineering ) සහ ආර්ථිකය හැසිරවීම ඉර හඳ මෙන් ස්වභාවික දෙයක් ලෙස අදත් අපේ සමාජය තුල මුල් බැස ඇත. මා  නිදහස් වෙළද පොළ ධනවාදය කී විලස පරල වී එන ප්‍රතිචාර එන්නේ මේ රාජ්‍ය සමාජ යාන්ත්‍රනය ස්වභාවික  වූ  දරුවන්ගේ දරුවන්ගෙනි.  
නිදහස් වෙළද පොළ ධනවාදය සඳහා කොන්දේසි ඇත.
ඉහත ඇනෝ කියනවා මෙන් නිදහස්  වෙළද පොළ ධනවාදය රටවල් වලට පහසුවෙන්  නිකම් නොලැබේ ඒ සඳහා අවශ්‍ය මුලික කොන්දෙසි සපුරා ගත යුතුය. මේ සඳහා අවශ්‍ය මුලික සහ පළමු කොන්දේසිය නම්  පුද්ගලික දේපල අයිතියේ සුරක්ෂිත බවයි. මේ යුගයේ පුද්ගලික දේපල යනු ඉඩම් වාහන ගෙවල් දොරවල් පමණක්ම නොවේ පුද්ගලයෙකු සතු  දැනුම, දක්ෂතා වැනි දේත් අයත්ය. මෙන්න මේ පුද්ගලයෙකු සතු පුද්ගලික දේපල  වල අයිතිය කෙතරම් දුරට සුරක්ෂිත කරලා තියනවද කියන ඒක අනුව සහ ඊට සාපේක්ෂව තමයි රටක් ධනවාදී කියන්න පුළුවන් සහ දියුණු වෙලා තියෙන්නේ නැතිව ඇනෝ කෙනෙක්  ලිබරල් හරි ධනවාදී හරි කියල නාම කරණය කිරීම තුලවත් අන් රටවල් සූරාකෑම තුළවත් නොවෙයි. පුද්ගලික දේපල  වල අයිතියේ සුරක්ෂිත භව යනු පුද්ගලයාට නිදහසේ සිය පුද්ගලික අභිවර්ධනය උදෙසා  පුද්ගලික දේපල විකිණීමට, හුවමාරුවට සහ ළඟ තබා ගැනීමට ඇති අයිතියයි. පුද්ගලික දේපල  වල අයිතියේ සුරක්ෂිත භව යනු රජය මේවාට ඇඟිලි නොගැහීමයි. නීතියේ රෙගුලාසිය සහ  නීතිය සහ  අණ ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් තුල මනා ලෙස ක්‍රියාත්මක වීමයි.
ලංකාව මෙක්සිකෝව,ලතින් ඇමරිකානු රටවල්  ඇමරිකාව සිංගප්පූරුව වගේ නොවී  මොකද දුප්පත් වුනේ?
පැහැදිලිවම සහ ඉතා නිරවුල්ව ලතින් ඇමරිකානු රටවල් මෙහෙම වෙන්න මූලික හේතුව තමයි මේ රටවල් වල නීතියේ රෙගුලාසිය සහ  නීතිය සහ  අණ ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් තුල මනා ලෙස ක්‍රියාත්මක නොවීම. මේවා තමයි ධනවාදයේ මුලික කොන්දේසි මේවා නැති රටවල් ධනවාදී නෙවෙයි. මේවා තියන රටවල් තමයි සරලව ධනවාදී කියන්නේ. මං කලින් ලිපියෙත් කියා ඇති පරිදි පොදු සාමූහික දේ  ප්‍රමුකත්වයක් දී  පුද්ගලික ඒකීය දේ මර්ධනය වන පදනම  උඩ සිට ආර්ථිකයේ සිට සියලු දේ සංවිධානය කරන,  රජය ව්‍යාපාර හා වෙළදාම්  මෙහෙයවන රටවල් , නීතිය සහ  අණ ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් තුල මනා ලෙස ක්‍රියාත්මක නොවන රටවල් පුද්ගලික දේපල අයිතියේ සුරක්ෂිත බව තහවුරු නොකරගත් රටවල් එන්න එන්න දුප්පත් වෙනවා මේ කොන්දේසි සපුරන්න සපුරන්න ඒ රටවල් දියුණුව කරා යනවා. මේ ධනවාදී කොන්දේසි සපුරන්නේ නැති පවත්වාගෙන යන්නේ නැති රටවල් ඉහත ඇනෝ කියපු විදියට වල පල්ලට යනවා .
ලංකාව කල යුත්තේ කුමක්ද?
ඔලුවෙන් මවා ගත් සූරා කන බාහිර සතුරෙකුට සාප කරමින් නොසිට සිංගප්පූරුව ,ජපානය,දකුණු කොරියාව  වැනි රටවල් ගිය මගේ  ගොස් තමන් ධනවාදී යයි බොරුවට නොකියා  මේ මුලික ධනවාදී කොන්දේසි සපුරාලීමයි. නිදහස නිකන් නොලැබේ දිනාගත යුතුය. ලංකාවේ මිනිසුන් නිදහස එපා අපිට අනේ අපිට විලංගු දාන්න යයි හයියෙන්  ඉල්ලා සිටින්නේ ඇයි?  මගේ පෙර ලිපියේ කොමෙන්ටු වලින් මට ඇහෙන්නේ එවැනි හඬකි.

Tuesday, October 2, 2012

රජයේ දේපොළ ,විලාසිතාව හා යථාර්ථය..(හුලං ට පිළිතුරක්)

 නිදහස නැති කරන "නිදහස්‌ අධ්‍යාපනය"  නමින් මා මීට පෙර  ලියූ බ්ලොග් සටහනට සුධාරක සහ හුලං යන දෙදෙනා ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කර තිබුනා. අපගේ සමාජයේ  කිඳා බැස තිබෙන මුලික සමාජවාදී හර පද්ධතියේ සමාජීය පරමාදර්ශයන් නිවැරිදි යයි ප්‍රථමයෙන් පදනම් කරගෙන මේ පිළිතුරු සියල්ල ගොඩනැගීම නිසා සියලු දෙනා    මා නගන තර්කය වරදවා වටහාගෙන තිබේ  යැයි  මට සිතේ.
සමාජවාදය යනු කුමක්ද? 
තමන් සමාජවාදියෙකු යැයි,ජෙප්පෙකු,මාක්ස්වාදියෙක් යැයි  නොපිළිගන්නා ලාංකිකයන් පවා ඕනෑම විටක නොදැනුවත්වම පෙනී සිටින්නේ සමාජවාදී මූලධර්මයන් වෙනුවෙනි. සමහරුන්ට තමන් වාමාංශික යැයි කීම තමන් හොඳ මිනිසෙකු යැයි කීම හා සමාන දෙයකි. සමාජවාදය යනු කුමක්ද?
සමාජය යාන්ත්‍රනය කිරීමේ වර බලය රජයසතු වීමයි. (සමාජීය පරමාදර්ශ වලට  අනුකූලවන ලෙස සමාජය සහ පුද්ගලයින් හැඩගස්වා ලීමයි. )එනම්   පොදු සාමූහික දේ  ප්‍රමුකත්වයක් දී  පුද්ගලික ඒකීය දේ මර්ධනය වන පදනම  උඩ සිට ආර්ථිකයේ සිට සියලු දේ සංවිධානය කිරීමයි. තේරෙන බාසාවෙන්  කිව්වොත් පොදු දේ හොඳයි පුද්ගලික දේ නරකයි සහ  රජය ව්‍යාපාර හා වෙළදාම් මෙහෙයවීමයි.
සමාජවාදය හා ලංකාව
20 වන සියවසේ මුල සිටම ලොව පුරා අස්සක් මුල්ලක් නෑර ජනතාව මේ සමාජවාදයේ  කියන රජයේ දෝත මත මිනිසුන්   සුරක්ෂිත යැයි කියන    මුලාකරනසුලු  වසගයට අහු උනා. එත් 21 වැනි සියවස වන විට සමාජවාදයේ බියකරු අත්දැකීම  විදි රටවල් අර්ධ සමාජවාදී රටවල් සහ ඒ දිහා බලා උන්  ලොව පුරා  මිනිසුන් සමාජවාදය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒත් මොකක්දෝ අභාග්‍යයකට අපේ රට තවමත් මේ සමාජවාදී අදහස් ප්‍රතික්ෂේප කිරීම' ප්‍රතික්ෂේප කරමින් සිටින  ජනතාවක් සිටින අභාග්‍යසම්පන්න රටක් වී ඇත. සමාජවාදී ආකල්ප වලට පයින් ගසා ගිය  කලාපයේ අනෙකුත් රටවල්  වේගයෙන් අප පසුකර ගොස් ඇත. 21 වැනි සියවසේ සිටින ලාංකීය තරුණයන් පවා සමාජවාදය එපා කියන්නේ නැත. සල්ලිකාරයින් කිහිප දෙනෙකු තනන සහ අන් සියල්ල දුප්පතුන් කරන ධනවාදය නරක දෙයකි.  අපේ රටේ නිල නාමයම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයයි ඉදින් රාජ්‍ය ව්‍යාපාර ඇත මේවා තිබීම ගැන නාඹර තරුණයන් පවා ආඩම්බර වේ. රජය වෙළද පොළ බලවේග පාලනය කරයි, වැටුප් පාලනය කරයි, ප්‍රතිලාභ පිරිනමයි, නිෂ්පාදනය කල යුත්තේ මෙවායයි රජය සිතන දෙය නිපදවයි, මෙහෙම රජය හැම දෙයක්ම පාලනය කරද්දී සහ මෙහෙයවද්දී දුප්පතාට සහ පොහොසතාට හැමෝටම සමානව දේවල් බෙදිලා යනවා.මෙමගින් දුප්පත් පොහොසත් පරතරය අවම වෙලා සාධාරණය ඇතිවෙනවා.
නිදහස නැති කරන "නිදහස්‌ අධ්‍යාපනය"  නමින් මා මීට පෙර  ලියූ බ්ලොග් සටහනේ ප්‍රතිචාර තීරයේ   හුලං නැමැත්තා මෙහෙම කියනවා  .
//සුදුස්සන්ටද විශ්වවිද්‍යාල වරම් අහිමිව ඇත්තේ ඒ සඳහා ඇත්තේ ඉතා සීමීත සම්පත් ප්‍රමාණයක් පමණක් නිසාය. එම සම්පත් ප්‍රමාණය වැඩි කිරීමට පෙෘද්ගලික විශ්වවිද්‍යාල ඇරබීමද කල හැක. නමුත් ඒ වැඩි වූ සම්පත් ප්‍රමාණය විවෘත වන්නේ ධනපතියන් ට පමණි. ඉහත කී ගොවි මහතාගේ පුතාට එම සම්පත් පරිහරනය කිරීම සිහිනයක් පමනි. නැතිනම් රජයේ විශ්වවිද්‍යාල වැඩි දියුණු කිරීමෙන් සහ නව රජයේ විශ්වවිද්‍යාල විවෘත කිරීමෙන් ගොවි මහත්වරුන් ගේ දූ පුතුන්ට මෙන්ම ධනපතීන්ගේ දූ පුතුන්ට ද එක සේ පරිහරණය කල හැකි සම්පත් එක් කරලිය හැක.// 
මෙවැනි තර්ක තව ඕන තරම්, කෙසේ  උවද මොනවා කීවද ලංකාවේදී  සමාජවාදී මතය  පහසුවෙන් ජයගනිමින්   ධනවාදයට වඩා උත්තරීතරභාවයක් සමාජවාදයට ලබා දෙමින් සංවාදය අවසන් කල හැකිය.
සමාජවාදය මහ පොලොව මත තියා සසදා වෙනස  බලමු 
මිල්ටන් ෆරීඩ්මන්  කිවූ පරිදි පරිකල්පිත තර්ක වල වලංගු භාවය පරීක්ෂා කල හැකි එකම ක්‍රමය නම්  ඇත්ත මහා පොලොව මත අත්විදින දෙය  සමග සන්සන්දනය කර බැලීමයි. ඉතින් අපි බලමු මේ සියලු සමාජවාදී පුරෝකථන අපේ ඇත්ත අද්දැකීම සමග සසදලා.
උතුරු කොරියාව /දකුණු කොරියාව 
මෙන්න මන් දෙන  පලවෙනි සංසන්දනය. රාත්‍රී චන්ද්‍රිකා චායාරූපයක්. අපේ අය මැරුණත් අත්නොහරින සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක උතුරු කොරියාව සහ අපේ නිදහස් අද්‍යාපනයයේ දරුවෝ පෝලිමේ ඉදල පහල මට්ටමේ රැකියා වලට පවා යන ධනවාදී දකුණු කොරියාව. රෑට විදුලිබලය තියෙන්නේ කාටද කියල පේනවද? හැමෝටම සමව බෙදා දෙන්න ගිහින් කාටත් නෑ ලොක්කට විතරයි.
ශ්‍රී ලංකාව/සිංගප්පූරුව
සියලුම කේෂ්ත්‍රයන් ගැන කතා කිරීමට ඉඩකඩ නොමැති නිසා  මෑතදී මතභේදයට තුඩු දුන් විශ්ව විද්‍යාල සලකා බලමු නිදහස් රජයේ අද්‍යාපනය අපට උරුම කර දී ඇති දෙය කුමක්ද? කොළඹ විශ්ව  විද්‍යාලය ලොව අනෙකුත්  විශ්වවිද්‍යාල සමග සසඳා බැලු  විට හිමිවන්නේ ලොව  2240  ස්ථානයයි . මොරටුව 2573. ඔන්න හැමට නිදහසේ ලැබෙන අර හුලං කියන  අධ්‍යාපනයේ ගුණාත්මක බව. කෙටියෙන්  අනෙක් දේවල් සැලකුවොත් ලංකාවේ  රාජ්‍ය ව්‍යාපාර ලබන පාඩු  පියවන්න  අනාගත  පරපුරත් ණය කරලයි තියෙන්නේ. මහා භාරකාර අධ්‍යක්‍ෂක මණ්ඩලයක් පාලනය කරන   ලොව අංක 25 ස්ථානය ගන්නා කලාපයේ නුදුරු සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලය  අපේ  නිදහස් උරුමය සමග සසදා බලන්න.

මං කියන්න ඕන නෑ ඔයාලම හොයල බලන්න ඊලගට සසදලා බලන්න මේ රටවල් වල අත්දැකීම.
නැ. ජර්මනිය/බටහිර ජර්මනිය
සෝවියට් දේශය/ඇමරිකා එක්සත් ජනපදය
දැන් අපි  ඉහත හුලං කියූ තර්කය මහ පොළොවේ අත්දැකීම හා සසදා බලමු.  දුප්පතාට පොහොසතාට හැමෝටම සාධාරණය ඉටුකරන සාධාරණ සමාජ හදන්න රජය කරේ තියන් යන රටවල් වලට මොකද වෙලා තියෙන්නේ?  මේ දෙවියෝ බුදුන් වගේ අදහන සමාජවාදී තර්ක වල පොරොන්දුව තමයි හැමෝටම සාධාරණ සැවොම දිනන කියන එක ඉහත  හුලං ගේ කොමෙන්ටුවේ ඔහු මෙහෙමත් කියනවා 
//නිදහස් අධ්‍යාපනය යන වදනේ නිදහස් යන්නෙන් අදහස් වන්නේ සැමටම විවෘත බවයි. ඔබේ ආගම, ජාතිය, කුලය සහ වැදගත්ම ලෙස දුප්පත් පෝසත් බව නිදහස් අධ්‍යාපනය ලැබීමට බාධාවත් නොවේ.//
එත් බලන්න ඇත්ත ලෝකයේ  හැමෝම දිනවන්න සමාජවාදයේ පරීක්ෂණ වලට ගිහින් වෙලා තියන දේ. කාටවත්  නෑ නේද?  උතුරු කොරියාවේ කාටවත් ලයිට් නෑ... පොරොන්දුව හැමෝටම  දෙන සාදාරන සමාජයක්.  ලංකාව් බලන්න නිකං දෙන අධ්‍යාපනයේ ගුණාත්මක බව  ලෝකෙට  2240 වෙනිය.  
කෙටියෙන් කිව්වොත් මං කියන්නේ මේකයි.
සමාජවාදයේ පොරොන්දුව හැමෝටම සමව බෙදාදීමයි. නමුත් නිපදවන්නේ හැමෝම සමානව නොවන බව අමතක කරයි. හැමට දිනුම පොරොන්දු වුවද ඇත්ත ලෝකයේ වූ දේ බලන්න. අවසානයේ හැමෝම දිළින්දන් වී කාටවත් නෑ. 
ධනවාදය යනු කුමක්ද?
ඔව්  ධනවාදය සැමට සමානව සලකන්නේ නැත. ධනවාදය තුල   සල්ලිකාරයින් හා දුප්පතුන් සිටී,  ජයග්‍රහකයින් මෙන්ම පරාජිතයින්ද  ඒ  තුල ඇත .  නමුත් මේ විෂමතාවයන්  ඇති කිරීමෙන් පසුව පවා මුළු රටක් ලෙස ගත් විට වැඩි පිරිසක් ධනවත් වී වැඩි පිරිසක් දිනා ඇත (නැවතත් ධනවාදී දකුණු කොරියාව චායාරූපය බලන්න)එමෙන්ම රටක් ලෙස තව දුරටත් වර්ධනය වෙමින් පවතී. මීට අමතරව  නිදහස් වෙළඳ පොළ නිදහස් මිනිසුන් බිහි කරයි. මක්නිසාද යත් ආර්ථීක නිදහස දේශපාලන නිදහස ඇතිකරන බැවිනි. සමාජවාදය ඒකාධිපතියන් බිහිකරයි. තෝරා ගැනීම ඔබ සතුයි.