Pages

Followers

Saturday, December 13, 2014

අපේ කඩේ


ඔබට ඔබගේම ව්‍යාපාරයක් , නිකං කඩයක් තියෙනව කියල හිතන්න ඔයා ඒ කඩේ මැනේජර් කෙනෙක් දානවා ඔයා තමයි පඩි ගෙවන්නේ . ඒ මැනේජර් මාර පෞරෂයක් තියෙන උසමහත ඔයා මාර කැමති නළුවෙක් වගේ පොරක් (මහින්ද මහත්තය වගේ කියමුකෝ ) .
පොර  කඩේ ඔයාලගේ තාත්තට අයිති කාලේ ඉඳන් වැඩකර කර   හිටිය එලවගන්න බැරිව හිටිය නාහෙට අහන්නැති  දෙමල කොල්ලව එලවල හෙම දාල දැන්  අල්ලපු කඩ පවා බයකරගෙන ඔයාගේ ව්‍යාපාරය මෙහෙයවනවා කියමුකෝ. මිනිහ ටික කලකින් ඔයාගේ කඩෙන් හොරා කනවා මුදල් හොරකම් කරනවා වාහන ගන්නවා. තමන්ගේ පවුලටම කඩේ රස්සාවල් දීල , ළමයිත් කඩෙන් හොරකං කරනවා 
ඔයාගේ කඩේ  ඇපේට තියල  අල්ලපු ටවුමේ චීන කඩෙන් නයකුත් අරන් , ඔයාගේ ළමයි නෝනටත් චන්ඩි පාට් දානවා ඔයාවත් ගනන් ගන්නේ නැහැ දැන් ඔයා මොකද කරන්නේ මිනිහ මාර පොරක් හැන්ඩියා , චන්ඩියා වගේම  ව්‍යාපාරයත් හොඳට කරනවා කිය කියා ගෙදර ළමයි ගැනීට වෙන අසාධාරනෙත් ගනන් නොගෙන ඔයාත් ඔයාගේ මැනේජර්ට ඔලුව පහත් කරගෙන දිගටම තියා ගන්නවාද නැත්නම් අස් කරලා වෙනමැනේජර් කෙනෙක් අලුතින් බඳවා ගන්නවාද?

PS / ගිය අවුරුද්දේ කඩේ බඩු දාන්න ගොඩක් වියදම් කරලා තියෙන්නේ ඔයාගේ ලොකු දුව ඩුබායි රස්සාවක් කරලා එවන සල්ලිලු
PSS / අස්  කරන්න යනවා කියල  ආරංචි වෙලා ඔයාට ගහන්න  පොල්ලක් අතේ තියන්ලු ඉන්නේ 

Wednesday, November 26, 2014

ලොකු ළුණු සහ අල



ඊයේ ලොකු ළුණු ගොවින් විසින් ලොකු ළුණු කිලෝවකට රුපියල් 100ක නිශ්චිත මිලක් ඉල්ලා කල උද්ගොෂණයට පිළිතුරක් ලෙස රුපියල් 90ක සහතික මිලක් ලබා දීමට රජය පොරොන්දු වී ඇත. මේ අතර ආනයනික ලොකු ළුණු විකිණීම හා අලුතින් ගෙන්වීමද තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.
චන්දෙ කාලෙට භලලෝභී දේශපාලකයින් ගොවි චන්ද ටික දිනාගැනීමට දේශීය කෘෂිකර්මය නම්දේශප්‍රේමයෙන් මත්වී අපේම බදු සල්ලි වලින් ඕවා මිලදීගෙන වැඩිමිලට විකුණාගත නොහැකිව කුණුවීයාමට සලස්වයි. අල සහ ළුණු කතාවේදීත් දේශපාලකයින් ජනතාවට දෙපැත්තකින් ... අරින්නේ අනික්හැමතැනකදීම මෙන් දේශප්‍රේමය ඉස්සරහට දමාය.
උන්ට චන්ද ටිකක් වැඩිකර ගැනීමට මේවා වැඩිමිලට මිලදී ගැනීමට යොදාගන්නේ උන්ගේ සල්ලි නොව අපේම බදු මුදල්ය. දෙවනුව මේ අල ළුණු අඩුමිලට ආනයයනය වැලක්වීමට අධික බදුගසා නීති දැමීම නිසා ජනතාවට අධික මිලක් ගෙවීමට සිදුවේ. දෙපැත්තකින් පොලිටික්කන්ට කියා තමන්ට ඇර ගන්නා සමහර බත්කන හරක් මෙවැනි ගල්යුගයේ ආර්ථික ප්‍රතිපත්ති දේශීය කෘෂිකර්මය නගාසිටුවන දේශපේ‍්‍රමී ප්‍රතිපත්තියැයි සිතමින් තමන්ටමඇර ගැනීම අහෝ සැපයි කියති.
ලංකාවේ වගා කොට ලාභ ලැබිය හැකි අනන්ත අප්‍රමාන වූ සංක්‍යාවක් දේ වෙළඳපොල ජයග්‍රහණය කොට ඉදිරියට නොපැමිණෙන්නේ මෙවැනි අමන තක්කඩි දේශපාලකයින්ගේ අමන ප්‍රතිපත්ති සහ ඒවා අනුමත කරන බත්කන හරක් චන්දදායකයා නිසාය.
අල/ළුණු  වගා කරන භූමියම උදාහරණයට ගන්නේ නම්. රජය හෝ දේශපාලුවන් ඇඟිලි නොගහන නුතන නිදහස් වෙළඳපොල ආර්ථිකය ප්‍රතිපත්තියක් ලංකාවේ තිබේ යැයි මොහොතකට උපකල්පනය කරන්න.දියුණු නුතන ආර්ථික ක්‍රමයක් තුල දේශපාලකයෝ සහ රජය මේවා මිලදී ගැනීමට හෝ ආනයනය ට බදු නොගසන සහ කිසිඳු ඇඟිලි ගැහීමක් නොකරයි. විය යුතු කුමක්දැයි වෙළඳපොල විසින් තීරණයට ඉඩහළ රටක් යැයි සිතන්න . එවිට අල/ළුණු වගාකරුවන් ට ඇත්තේ විකල්ප 4 කි මේවා දුෂ්කරතාවයේ පිළිවෙලට
1.ඔවුන් එක්කෝ නුතන තාක්ෂණික වගාක්‍රම භාවිතා කර ඉන්දියන් අල/ළුණු මිලට තරඟයක් දිය හැකි අඩු පිරිවැයක් සහිත අල නිෂ්පාදනය කල යුතුය
2. එක්කෝ අල/ ළුණු වෙනුවට ලාභ ලැබිය හැකි භෝගයකට මාරු විය යුතුය.
3. එක්කෝ අල / ළුණු වගාවෙන් ඉවත්වී රැකියාවකට යා යුතුය.
4. එක්කෝ පහසුම විදිය සියදිවි නසා ගැනීම
දැන් මෙවැනි රටක නූගත් අල/ළුණු ගොවියෙකුගේ උසස් අද්‍යාපනය ලද උගත් පුතෙකුට බත්කන හරකෙකු මෙන් දිවිනසා ගන්නවා වෙනුවට සිය පියාගේ ඉඩම් වල ලාභ ලැබිය හැකි වෙනත් භෝගයක් අත්හදා බැලීමට දේශපාලනික ආර්ථික පසුබිම උදාවේ.
උදාහරණයකට ඔහු අන්තර්ජාලයෙන් සොයාගත් තොරතුරු අනුව අපනයන කොට ලාභ ලැබිය හැකි රෝස මල් වර්ගයක් හෝ ගර්කින් වර්ගයක්  නුතන තාක්ෂනය යොදා වගා කිරීමට තීරණය කළා යැයි සිතමු. එවර පාඩු ලබන රජය මත යැපෙන අල වෙනුවට ලෝක වෙළඳ පොලේ තරඟයක් දියහැකි එම භෝගය  අපනයෙන් තවද ඔහු ඉතා කෙටි කලක් තුල එම ලාභය නිසා ධනවත් වීමෙන් තවත් වගාබිම් මිලදී ගැනීමටද හැකිවේ. වෙනත් ගොවියෙකු වෙනත් බෝගයක් අත්හදාබැලීම් කර ඔහුට වඩා ලාභ ලැබුවානම් එවිට මේ දෙන්නා අතර වෙළඳපොල තරගයෙන් ලංකාවේ වැවිය යුතු බෝග ඉබේමතීරණයවීවගාවන් අන්තර්ජාතික මට්ටමට ඉබේම දියුණු වේ.
ගොවියන් ලාභ ලබන භෝග වැවීමට පෙළඹීම නිසා රටම ලාභ ලබයි මේ නිසා රටට විදේශ විනිමය ලැබේ , අල වගාව තුරන් වී ගියද ආර්ථික වෙනත් බෝග අපනයෙන් අල වවා පාඩු ලබනවා වෙනුවට විශාල විදේශ විනිමය තිබෙන බැවින් ඕනෑ තරම් රටටම කන්න දෙන්නට ඉතා අඩු මිලට අඩු මිල අල ඉන්දියාවෙන් මිලදීගැනීමට රටට හැකියාව ලැබේ..
මුග්ධ අමන දේශපාලකයින් නිදහසින් පසු වසර 60 ක් තිස්සේ බදු ගසමින් සහ සම්ප්‍රධායික වගාවන් සහනාධාර මිලට අපේම බදු මුදලින් මිලදී ගමින් වලක්වාලන්නේ රටේ අනාගත දියුණුවයි.

Wednesday, November 19, 2014

මහාචාර්ය රොහාන් සමරජීව ගේ "නිමැවුම් කර්මාන්ත සමගින් බැඳී පෙම" ලිපිය සහ මාතලන් ගේ ආර්ථික විවරණය




ආර්ථික ප්‍රථිපත්තියක් අවශ්‍ය රනිල්ටද? මහින්දටද?  යනුවෙන් මාතලන් බ්ලොග්කරුගේ ලිපිය නිමිත්තකොට ගෙන   මහාචාර්ය රොහාන් සමරජිව ගේ  ලිපියක් © Lanka Business Online වෙබ් අඩවියෙහි ඉංග්‍රීසියෙන් පලවී තිබුණි  එයට මා සහෘද මාතලන් බ්ලොග්කරු දක්වන ලද  ක්ෂණික ප්‍රතිචාරයද මෙම යොමුවෙන් කියවන්න. එම ඉංගිසි ලිපියේ පරිවර්තනයක් රාවය පුවත්පතේ පරිවර්තනය කොට පලවී ඇති බව කියාතිබු  නමුත් අන්තර්ජාලය තුල සොයාගත නුහුණ බැවින් මගේ පහසුව උදෙසා  සහ මගේ බ්ලොග් සටහන් කියවන්නන් වෙනුවෙන් එම ලිපියේ  මා විසින් කල නව  පරිවර්තනය පහතින් දැක්වේ. සහෘද  බ්ලොග්කරු මාතලන් ගේ එම ලිපිය සහ මහාචාර්ය රොහාන් සමරජීව ගේ අදහස් සහ එයට මාතලන් දක්වා ඇති ප්‍රතිචාරය ගැන මගේ සත දෙක මෙම පරිවර්තනයට පහලින් ඇත.  
රොහාන් සමරජීව විසිනි
පරිවර්තනය -උදිත මීගහතැන්න
ශ්‍රී ලංකාව තුල  නිෂ්පාදන කර්මාණ්ත හිඟකම පිළිබඳව වැලපීමක් කවුරුහරි අතින්  අවුරුදු කිහිපයකට සැරයක්  ලියවෙනවා. සේවා ආර්ථිකය හරහා වන ආර්ථික වර්ධනය සැබෑ වර්ධනයක් නොවන බව ඔවුන් තර්ක කරනවා. මෑත කාලින පුරෝකථනයන් තුල මේ සේවාවන් යන්න බොහෝ විට සූදුපළ, ගණිකා වෘත්තිය, මත්ද්‍රව්‍යය වෙළඳාම වගේ නීතිවිරෝධී දුරාචාර වලට සම කරනවා.   මේ සේවා මානසිකත්වයෙන් අපි මිදිය යුතුයි , අපි සැම ශ්‍රී ලංකාව නිෂ්පාදන කර්මාන්ත මත පදනම්වූ ඉසුරුමත් දේශයක් කරන්න  උරදීමට  කැපවිය යුතු බවට මේ අය හඬ නගනවා.

මාතලන් නමින් ලියන සිතුවිලිවලින් සපිරි බ්ලොග්කරුවා නොබෝදා රජයක්  ගතයුතු සියලු ක්‍රියාමාර්ග පිළිබඳව  සංක්ෂිප්ත දළ සැලැස්මක් දක්වල තිබුනා.  ඔහු  කේන්ද්‍රීයව යොමුවන්නේ ජනාධිපති ප්‍රේමදාස ගේ ඇඟලුම් කර්මාන්තශාලා ග්‍රාමීයව ව්‍යාප්තියට ගත්  පරිශ්‍රමයටයි.  1977 ට පෙර එජාප සහ ශ්‍රීලනිප රජයන් නිර්මාණය  කරන ලද රජයට අයත් කර්මාන්ත සුදු අලින් ඔහු  හෙලා දකිනවා( එම සටහනේ  ඔහුගේ comments තුල ) . යටිතල පහසුකම් කෙරෙහි ඇති වර්තමාන අවධානය  33,000 ක් (ලංකාවේ ඇති ගම් ගණන ) කර්මාන්තශාලා නිර්මාණය කිරීම කෙරෙහි යොමුවිය යුතු බව ඔහු කියනවා.

නැණවත් සිතුම් සපිරිනු  බව පෙන්වා ඇති ඇති මේ  බ්ලොග්කරුවා, මෙම කර්මාන්තශාලා  සැදිය යුත්තේ කවුද? යන්න  අපිට අපැහැදිලි ලෙස අනුමාන කරන්න ඉඩහැර ගිහිල්ල.

අපේ රටේ දේශපාලන ආර්ථිකයේ  යථාර්තය ගැන අවබෝධයක් ඔහුට ඇති බවට සංඥා කරමින්  බලයේ සිටින දේශපාලන අධිකාරිත්වය මේ කර්මාන්තශාලා වලින් හම්බකරගෙන කෑමේ හැකියාව ගැන තැනක සඳහන්ව තිබූ නමුත්   එයත්   බහුවිධ ලෙස  අර්ථ නිරූපණය කරන්න පුළුවන්.

මේ කර්මාන්තශාලාත් අනෙක් රජයේ දේපල වගේම වෙන්න ඉඩප්‍රස්ථාව  තියනවා. රජයට අයිතියි නමුත් බලයේ සිටින දේශපාලකයන් විසින් ගසාකන ආයතන. එක්කෝ අනෙක් විකල්පය ලෙස මේවා එම දේශපාලකයින් ගේ  ගජමිතුරු ව්‍යාපාරිකයින්ට  අයිති වේවි.  

යටිතල පහසුකම් හෙළාදකින්නේ ඇයි?

යටිතල පහසුකම් සංවර්ධනය පිලිබඳ විවේචනාත්මක විග්‍රහය නිෂ්පාදන කර්මාණ්තයන්ද?  - සේවා ආර්ථිකයද? යන විවාදයත් සමග  ඒකාබද්ධ කර පටලවා ගැනීම කණගාටුවට කරුණක්.

අපි මෙහි යටිතල පහසුකම් යනුවෙන් සලකා ලබන්නේ   රටවැසියන් ට ඒකීය පුද්ගලයන් ලෙස හෝ   ව්‍යවසායන්ට තනිවම   ආර්ථිකමය වශයෙන්  පලදායී ලෙස  තමන්ටම සපයාගත නොහැකි පහසුකම්ය.

මහපාරක්  යනු , බොහෝ දෙනෙක් පාවිච්චි කරන අර්ථයෙන් , ඒකීය පුද්ගලයෙක්  හෝ  තනි  ව්‍යවසායක් විසින් මහා මාර්ගයක් හදනවට වඩා රජයෙන්  හොඳින් - සැලසුම්කරණය කරල මහාමාර්ගයක් හදන එක තුල බොහෝ  තෙරුම් සහගත බවක් තියනවා. ගාස්තු අයකරන පාරක් නොවෙයි නම් ,හැමෝම පොදු පාවිච්චියට ගන්න පාරක් තනි පාර්ශවයක් විසින් පිරිවැයක් දරල හැදීමට  ආර්ථිකමය ලෙස අනුබලයක් නැහැ.

රජය ප්‍රමාණාත්මක ලෙස යටිතල පහසුකම් නොසපයන විට වෙන්නේ  ඒකීය පුද්ගලයන් ලෙස හෝ   ව්‍යවසායන්ට වක්‍රිය ආකාරයෙන් තනිවම විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නයි. රජය ප්‍රමාණාත්මක ලෙස විදුලිබලය නොසපයන විට  ව්‍යාපාර ආයතන මිල අධික සහ පරිසරය දූෂ්‍ය කරන ඩිසල්  උත්පාදක යන්ත්‍ර වලට ආයෝජනය කරනවා
රජය ප්‍රමාණාත්මක ලෙස පොදු ප්‍රවාහන නොසපයන විට ප්‍රතිපලය තමයි ව්‍යාපාර ආයතන තමන්ගේ සේවකයින්ට තමන්ගේම බස් සේවා සපයන්න ගන්නවා (තමන්ගේ ව්‍යාපාරයේ යෙදෙන  කරන කාලය අඩුකරමින්, ඒ නයින්  මහත් අකාර්යක්ෂමව) සහ    ඒකීය පුද්ගලයන් මාර්ග තදබදය පරිසරය දූෂ්‍යවීම වැඩිකරමින්  යතුරුපැදි, ත්‍රීරෝද ,කාර් වලට ආයෝජනය කරනවා.

යටිතලපහසුකම් කරන හොඳ තමයි පුද්ගලයන්ට  හෝ   ව්‍යවසායන්ට  කළහැකි දේවල් වල වපරසිය පළල් කිරීම . උදාහරණයකට අධි-උෂ්ණත්ව කර්මාන්ත  (උදා: සෙරමික්, පිගන් ගඩොල්) දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ තිබුන  උනත් ව්‍යාපාරික තත්ත්වයක් වශයෙන් ස්ථාපිත නොවුනේ බලශක්තිය මිල අධික වූ නිසයි.

හොඳ යටිතලපහසුකම් ප්‍රතිපත්තියක් සහ ක්‍රියාවට නැංවීමක් මගින් ස්ථාවර සහ මිල අධික නොවන බලශක්ති සැපයුමක් සහතික කරනවා නම් නිෂ්පාදන කර්මාන්ත වල විශාල වශයෙන් ආයෝජනය කිරීම් අපිට දකින්න තියන හැකියාව වැඩියි.  සේවාවන් සහ ලුහු කර්මාන්ත වල ආයෝජනයන් බහුලව දක්නට ලැබෙන්න  එක හේතුවක් තමයි ඒවායේ යැපීම රඳාපවතින්න  බලශක්ති ආදායනය අවම ලෙස අදාල වීම.

රජය නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කල යුතුද ?

ජනාධිපති ප්‍රේමදාස විසින් දියත්කරන ලද ග්‍රාමීය නිමි ඇඳුම් කර්මාන්තශාලා වැඩපිලිවෙල මේ නිෂ්පාදන කර්මාන්ත යෝජනාකරන්නන් ගෙනෙන   තර්කයන් හි ගැටළු විදහාපානව. ඔහු රජයේ නිමි ඇඳුම් කර්මාන්තශාලා 33,000 ක් පිහිටුවන්න උත්සාහ කලේ නැහැ. ග්‍රාමීය පළාත් වල  නිමි ඇඳුම් කර්මාන්තශාලා මෙහෙයවිය යුත්තේ කවුද කියල ඔහුට ඉතා පැහැදිලි අවබෝධයක් තිබුනා: ඒ දැනටමත් ඒ කර්මාන්තයේ නිරත වෙන පුද්ගලික  ව්‍යාපාර ආයතනයි. ඒවාට අවැසි තාක්‍ෂණය , ආයෝජනය , සේවකයින් බඳවා ගැනීම සහ ඉතාමත් වැදගත්, නිෂ්පාදන සඳහා වෙළඳපොළ සපයාගැනීමේත් වගකීම එම පුද්ගලික ව්‍යාපාර වලට පැවරුණා .
මේ වෙළඳ සමාගම් වලට ගමට යන්න දිරිගැන්වීම් තිබුනා. අඩු පඩියට වැඩ කරන්න කැමැත්තෙන් සිටින පුහුණුකළ හැකි සේවකයින් ඒවායේ හිටියා. ඒවගේම ඔවුන්ට අනුබල නොදෙන කාරණාත් තිබුනා . විදුලිබල සැපයුම , වරාය දක්වා සහ වරායේ සිට ප්‍රවාහනය වගේ දේවල් නගරයට වඩා පිරිවැය අධික සහ අවිශ්වාසකටයුතු වුණා. රජය ඒ කාලේ සමාගම් වලට කැරට් අල කෝටුවේ ගහල පෙන්නලා තමයි ගම්වලට කර්මාන්තශාලා ගෙනියන වැඩේ ඉටුකර ගත්තේ. එදා යටිතලපහසුකම් අද තියන තරම් හොඳ තත්වයේ තිබුනානම් ඒ කටයුත්ත පහසුවෙන් කරන්න තිබුනා.

ඒ කාලේ  වෙනස් කාලයක් .

මුළුමනින්ම පාහේ සියලු නිමි ඇඳුම් අපනයන සිද්ධ උනේ බලපත්‍ර හරහා  සලාක වලින් අනුග්‍රහපූර්වක කොන්දේසි බුක්තිවිඳින්න ඉඩ ප්‍රස්ථාව ලබාදෙමිනුයි. මේ බලපත්‍ර උත්තෝලනය නිසා  ලැබෙන බලය රජයට තිබුනා .
දැන්, රජයට එහෙම ලැබෙන බලයක වාසියක් නැහැ .නගර වල සහ ගම්වල ඒ කාලයේ ස්ථාපිත කරනලද බොහෝ කර්මාන්තශාලා  සලාක ක්‍රමයේ ආධිපත්‍යය අවසන් වෙනවත් එක්කම වැහිලා ගියා. නව වෙළඳපොල වාතාවරණයට අනුවර්තනය උන ඒවා, තම නිෂ්පාදන වලට වැඩි වටිනාකම් එකතුකර ගත් අය තමයි  තවමත් නොනැසී පවතින්නේ.

මේ වගේ වෙනස් වීමේ අවශ්‍යතාවය ඉල්ලාසිටින අවස්ථාවකදී  රජය- සතු කර්මාන්ත ප්‍රතිචාර දක්වන අයුරු මෙයට සසඳා බලන්න. දශකයකට ඉස්සෙල්ලා වෙළඳපොල කඩාගෙන වැටුනු වෙලේ  බංගලාදේශයේ රජයට පවරාගත් හණ රෙදි කර්මාන්තශාලා  වල සේවකයින්ට තාමත් රටේ බදුගෙවන ජනතාව පඩිනඩි ගෙවනවා.

ප්‍රමුඛතා රජය තීරණය කලයුතුද ?

නිමි ඇඳුම් නොවෙයි නම් මොනවාද? අපනයනය කිරීම සඳහා නිෂ්පාදනය කල යුත්තේ මොනවාද යන්න වෙළඳපොල හදුනාගැනීමට  රජය සමත්ද ?  ව්‍යවසායකයාටම  එය හඳුනාගන්න ඉඩහරින එක වඩා සුදුසු නැද්ද?

රජයට කල හැක්කේ කුමක්ද? ව්‍යවසායකයින් මුහුණ පාන මොනවා හෝ බාධාවක් ඇත්නම් ඒවා ඉවත්කිරීමයි . ගැටළුව වී ඇත්තේ බදු නම් බදු සහන ලබාදීමයි . තොරතුරු ගලාඒමේ හිඩැසක් ඇත්නම් ඒවා යාකිරීමයි . නමුත් බොහෝ අවස්ථාවලදී  වඩා උපයෝගී ලෙස රජයට කල හැක්කේ යටිතලපහසුකම් සේවා වැඩිදියුණු කිරීමයි .

ඉතින් ඇත්ත වශයෙන්ම නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනයට රජය කලයුත්තේ වරායන් සහ අධිවේගී මාර්ග නගාසිටුවීම තමයි.

ලොකුම බාධකය ලෙස පෙනීයන්නේ මූලධනය. විශාල සමුහ ව්‍යාපාර වල පැවැත්ම (උදා: ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ) සහ අලුත් ඒවායේ මතුවීමට (උදා: සොෆ්ට්ලොජික්) වැරදියි කියල  සාක්ෂි සහිතව ඔප්පුකරනතුරු වෙළඳපොළ ප්‍රාග්ධනය ප්‍රමාණවත් නොවීම තමයි ගැටලුව.  ව්‍යවසායකයින් ට මුලධනය උත්තරණය කරන්න අමාරුයි. ප්‍රාග්ධනයට ප්‍රවේශ වීමේ හැකියාව තිබෙන අය අවදානම-අඩු , ඉක්මන්-ප්‍රතිලාභ කෙරෙහි දිශානත වෙලා ඉතින් මේ දෙකම ආකර්ෂණය වෙන්නේ සේවාවන් කෙරෙහි.  මේක රජය කරන දෙයක් නොවෙයි නමුත් රජයේ වැරදි ප්‍රතිපත්ති වල විපාකයක්.

ඉතින් මේ ඔක්කොටම පස්සේත් ,කවුරුවත්   කිසිම අයුරකින් නිෂ්පාදන කාර්යයන් වල නිරත නොවනවානම් , රජය කලයුත්තේ මොනවාද?

මුකුත්ම කලයුතු නැහැ . යටිතලව්‍යුහයට සහ ප්‍රාග්ධනයප්‍රවේශ වීමේ   විවිධාකාර බාධාවන් අඩු කරන්න ක්‍රියාත්මක විමට  ට රජයට පුළුවන්. නමුත් මොනයම් කාරණයක් නිසාවත් රජය 1970 දශකය විලාසයේ
අවදානම් රජයේ කර්මාන්ත වලට සෘජුව ආයෝජනය කිරීමවත් කර්මාන්තශාලා මෙහෙයවීම වත් නොකලයුතුය .

අසංවිධිත  අසංඛය සංක්‍යාවක් තීරණ ගන්නන් විසින්  තමන්ගේම  මුදල් වල අවදානම ගෙන නිෂ්පාදන කර්මාන්තයන්හි   යෙදීමේ  සූදානම්නැති බව  අපිට හඩගා කියන්නේ . ශ්‍රී ලංකාවට නිෂ්පාදන කර්මාන්ත වල යෙදීමේ   සංසන්දනාත්මක වාසියක් නොමැති බවයි. එයට අපි ඇහුන්කම් දිය  යුතුයි. ඔවුන්ගේ නිෂ්පාදනය කිරීමේ අකමැත්ත නොසුදානම හැමවිටම අනුන්ගේ සල්ලි (ජනතාවගේ බදු මුදල්-පරිවර්තක ) අවදානමේ හෙලමින්   තීරණ සැලසුම්  නිර්දේශ කරන අය වැරදියයි අපිට නිරතුරු පෙන්වාදෙයි.

**************************************************************23 Oct, 2014 07:44:04

මගේ අදහස නම් මාතලන් ගේ අදහසක් පාදක කරගෙන  මහාචාර්ය රොහාන් සමරජිව ඉතා සංයමයකින් යුතුව දක්වා ඇති අදහස්   ගැන මා මිතුරු මාතලන් බ්ලොග්කරු එතරම් කලබල විය නොයුතු බවයි. මාතලන්ට කරන කෙලින් පහරදීමක් හෝ විරුධභාෂයකට වඩා මෙහි ඇත්තේ මාතලන්ගේ ජනතාවාදී(populist) රචනා ශෛලීය තුල  අවිඥානිකව සැඟවී ඇති මාතලන්ටත් නොදැනුවත්ව ඉන් එලියට පනින   ලාංකික පොදුජන විඤ්ඤාණය  තුල පැලපදියම් වී ඇති දුර්මත කිහිපයකට පහර ගැසීමයි.   මහාචාර්ය රොහාන් සමරජිව ගේ යටිතල පහසුකම් වලට රජය අතිවිශාල ලෙස ගිනිපොලියට ණයවී කරන  ආයෝජනයට දක්වන එකඟතාවය හා පුද්ගලිකව මගේ එකඟතාවය ක් නැති වුවද ලිපියේ ඔහු මතුකරන  අනෙකුත් කරුණු කාරනා ඉතා සාධනීය වේ.
මා මිතුරු මාතලන්ගේ මුල් ලිපිය මා සලකන්නේ එහි කොමෙන්ට් තීරුවේ කොමෙන්ට් කරුවෙකු ඉතා නිවැරිදිව හඳුනාගෙන ඇති පරිදි අංශක 180 කින් ආපසු හැරීගිය  දේශපාලනික අපගමනයක් ලෙසය. එක්කෝ මාතලන් පැටලී ඇත්තේ බ්ලොග්සටහන් වල ජනප්‍රිය සාධකය හා තමන්ගේ දේශපාලන මතවාදය කළමනාකරණය කරගැනීමේ උභතෝකෝටිකය තුලය එසේත් නොමැති නම්  මාතලන්අපිටත් හොරෙන්  අනුර කුමාර රහසේ හමුවී ජවිපෙ සාමාජිකත්වය ලබාගෙන අපේ දැක්ම ආර්ථික ක්‍රමය ජනප්‍රිය ඔහුගේ ආකෘතිමය හරඹය හරහා මොඩ් කර කොත්තුවක් දැම්මා විය යුතුය. නැත්නම් දිගු කලක් ඔහුගේ රචනා ශෛලිය කියවන රසිකයන්ට පවා මාතලන් වමේද දකුණේද යන්න හඳුනාහත නොහැකි තරම් අපහැදිලි කොට සියල්ල මංමුලාවී යන  ලෙස ලංකාවේ ආර්ථිකය රජය හැසිරිය යුතු පිලිවල  පිළිබඳව  Fifty Shades of Grey අළුපාට රචනාවක් ලියවෙන්න විදියක් නැත.

මාතලන් මෙලෙස අජිත් පැරකුම් හෝ අනුර කුමාරගේ ආර්ථික මතවාද සමග තමන්ගේ ආර්ථික මතවාද රිමික්ස් කිරීමෙන් වාමාංශික පාඨක පිරිස අතරත් බ්ලොග් අඩවියේ  ජනප්‍රිය භාවය රඳාපවත්වා ගැනීම   බලාපොරොත්තු වුවාද යන්න මා නොදනිමි නමුත් මාතලන් සොයුර මහාචාර්ය රොහාන් සමරජීව ඔහුගේ ලිපියේ කියා  ඇති පරිදි, නැණවත් සිතුම් සපිරිනු  බවක් මෙතෙක් කලක්  පෙන්වා ඇති ඇති මේ  බ්ලොග්කරුවා, මෙම කර්මාන්තශාලා, හෝටල් නිෂ්පාදන කර්මාන්ත   සැදිය යුත්තේ කවුද? ක්‍රියාත්මක කලයුත්තේ කවුද  යන්න  අපිට අපැහැදිලි ලෙස අනුමාන කරන්න ඉඩහැර ගිහිල්ල.

මචෝ මාතලන්  උඹට නොතේරුනාට ජෙප්පොන්ට උඹ උන්ගේ එකෙක් කියල හිතෙන්න තරම් උඹ අපගමනය වෙලා. රජයෙන් මේවා කලයුතුයි කියල ඉඟි වෙන විදියට තමයි ඒ ලිපිය ලියවිලා තියෙන්නේ.

යටිතල පහසුකම් ගැන එක තලයකින්  උඹත් එක්ක එකඟ වෙන්න පුළුවන් ඒත් මාතෝ. ව්‍යවාසකයින්ට ප්‍රාග්ධනය සමුච්චය කිරීමට ඇති විවිධාකාර බාධාවන් ඉවත් කිරීමට කලින් පිස්සු බල්ලෝ වගේ කොමිස් ගහන්න ඕනෑ නිසා යටිතලපහසුකම් කියල සුදුඅලි වරායවල් සැදීම ගැන මහාචාර්යවරයා දක්වනදේශපාලනික උදාසීන  මධ්‍යස්ථ භාවය   අනුමත කරන්න බැරි උනත්  අනෙක් කාරනා වලදී ප්‍රොෆෙසර් හරි කියලයි හිතෙන්නේ.
මාතලන්ගේ තර්කය වන්නේ මහාචාර්යවරයා ඔබේ ලිපිය හරියට කියවා  තේරුම්ගෙන නැත යන්න නම් මාතලන් මට කියන්න ඇත්තේ මචෝ  හිත රිදුනනම් සමාවෙයන් ඇත්තටම ඒකෙ සමහර තැන්වල උඹේ මතවාදය කුමක්ද යන්න  මටත් අපැහැදිලියි ඒකනිසා උඹත් නිහතමානිව යම්තරමකින්  වරද පිළිගත යුතුයි..

කෙසේ නමුත් මාතලන් ලංකාවේ ඊනියා  මුඛ්‍යධාරාවේ ජනමාධ්‍ය ජඩ මාද්‍ය ලෙස හැසිරෙමින්  විකාර කරමින් සිටින යුගයක  මෙවැනි හරවත්  සංවාදයක් සඳහා මං පෙත් විවර කිරීමේ සම්පුර්න ගෞවරවය ඔබට හිමිවෙන බැවින් ඒ සඳහා තොප්පිය ගලවා ආචාර කරමි.
by ©Uditha Meegahathenna

Thursday, October 2, 2014

යූ ඇන් පිය ජාතික තලයේ මැතිවරණ අනාගන්නේ ඇයි.

මේක ෆේස්බුක්  ගෘප් එකක දයාන් ජයතිලකගේ ලිපියක උද්ධරණයකට මම දාපු කොමෙන්ට් එකක් දයාන්ගේ quote එකත් Subhaga Herath ගේ කොමෙන්ට් එකත් එක්කම මගේ ප්‍රතිචාරය මෙතනත් දානවා බ්ලොග් එක වේලෙන හින්ද,

ශ්‍රී ල.නි.ප. යේ ඉතිහාසය පුරාම සැබෑ, ජනහිතෛෂී ආර්ථික සංවර්ධන පිළිවෙතක්‌ තිබුණෙ නෑ. එම නිසා තම කාලපරිච්ඡේදයේදී ජනතාවට දැනෙන සෞභාග්‍යයක්‌ සිදුවුණා කියල ශ්‍රී ල.නි.ප. යට කියන්න බෑ. ශ්‍රී ල.නි.ප. යේ දුර්වලම තැන ආර්ථිකය. ශක්‌තිමත්ම තැන ජාතිකත්වය. ජාතිකත්වය නියෝජනය කළ හැකි නායක නායිකාවන් මත ශ්‍රී.ල.නි. ප ආණ්‌ඩුව රඳා පැවතිලා තියෙන්නේ ඒ නිසයි. එජාපයේ ශක්‌තිමත්ම තැන ආර්ථිකය. දුර්වලම තැන ජාතිකත්වය. ඒ දුර්වල තැන වඩාත්ම දුර්වල වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ. ඒ නිසා ශ්‍රී.ල.නි.ප. ය පසුගිය දශක දෙක තුළදී සිය ඡන්ද ව්‍යාපාරය කළේ චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‌ෂ නමැති විශේෂ නායකත්ව චරිත දෙක ඉදිරියට දමමිනුයි. රනිල් වික්‍රමසිංහ මහතා ජාතිකත්වය පැත්තෙන් විශාල ඌනතාවයක්‌ දක්‌වන නිසා යුද්ධය ජයග්‍රහණය නොකළත් 1999 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට මැතිවරණය ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබුණා. අද මේ ආණ්‌ඩුව ඕනෑම මැතිවරණයක්‌ ජයගන්නේ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාගේ පෞද්ගලික ජනප්‍රියත්වය සහ යුද්ධය ජයග්‍රහණය කිරීමේ ඔහුගේ ඓතිහාසික කාර්යභාරය යොදවමින්. ඒ හැර මේ ආණ්‌ඩුවට කියන්න කිසිම දෙයක්‌ නෑ. මහින්ද රාජපක්‌ෂ සාධකය හැරුණුවිට අද ආණ්‌ඩුවේ සමස්‌ත පාලනයේම තිබෙන්නේ පිරිහීමක්‌. ඌවේදී ආණ්‌ඩුවේ ඡන්ද සංකෝචනයෙන් පෙනෙන්නේ ඒ පිරිහීමයි. සිංහල බෞද්ධ ඡන්ද කියන්නෙ ආණ්‌ඩුවේ අත්තිවාරම් ඡන්ද. ඒ ඡන්දත් අද සංකෝචනය වෙන්න පටන් අරන්.
- දයාන් ජයතිලක

Subhaga Herath එජාපයෙ ආරම්බයේදී, ජාතිකත්වයේ එකම උරුමක්කාරයා උනේ එජාපය
නමුත් එය ජාතිවාදී නොකර ඉන්න ඔවුන් දූරදර්ශී උනා...
මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තෙ, බලලෝභී බණ්ඩාරනායක හෙවත් නීල පෙරුමාල් ගෙ මී මුණුපුරා

එතැන් පටන් එජාපය ට ඒ ජාතිවාදයත් එක්ක හැප්පෙන්න බැරි උනා
දයාන් ජයතිලක ජාතිවාදයට ජාතික වාදය කියනවානම් දයාන්ට අමු කැවිලා



1955 වගේ කාලේ මේක පටන් ගත්තේ Subhaga Herath කියන ජාතිවාදය සහ ජාතික වාදය අතර වෙනස දයාන් ජයතිලක වගේම මාත් දන්නේ නැති නිසා මම ඕකට සිංහල-දේශාභිමානිවාදය ( Sinhala-nationalism ) කියල කියන්නම්. එහෙම නොවෙයි වෙන්න ඇති නිවැරිදි පරිවර්තනය මොනවා උනත් UNP එක 1950 දශකයේ ඉඳන් චන්ද සෙල්ලමේදී අනාගත්තේ SLFP කාරයෝ බලය ගන්න තක්කඩි විදියට මේ Sinhala-nationalist ලගේ කර උඩ යාමට ප්‍රායෝගිකව මුහුණ දෙන්න ක්‍රමයක් පක්ෂය ඇතුලේ නොමැති වීම.

මේ දුර්වලතාවය නිසා රනිල්ට ඉස්සෙල්ල අනාගත්තේ ඩඩ්ලි සේනානායක. ඒත් ඒ වෙලාවේ ඩඩ්ලි එක්ක ගේම ඉල්ලන්න UNP එකේ දෙවැනි පෙළ නායකයෙක් හිටියා . වෙන කවුරුත් නොවෙයි ජේ ආර් ජයවර්ධන. කපටි ප්‍රායෝගික මහපොළොවේ දේශපාලකයෙක් වුන ජේ ආර් දැනගෙන හිටියා මේ සිංහල-දේශාභිමානි චන්ද නැත්තටම නැතිව කවදාවත් ලංකාවේ ගොඩ යන්න බැහැ කියල. ඉතින් මිනිහ ඩඩ්ලි එක්ක ඇර ගත්තා, ජේ ආර් මොනතරම් දුරදිග ගියාද කියනවනම් Sinhala Only Act එක UNP එක පක්ෂයක් විදියට අනුමත කරල මේ ජාතික වාදී සෙට් එකට පක්ෂයක් විදියට් UNP එක  උපකාර කරන්න ඕනෑ කියන මතයේ හිටියා ජේ ආර් පක්ෂය ඒ වෙලාවේ එතෙන්ට තල්ලු කරා.
Tragedy
 Tragedy 

ඊට පස්සේ  60 දශකයම ජේ ආර් මේ සීන් එකට තමයි ඩඩ්ලි එක්ක ගේම ඉලලන්නේ. මෙතන වැදගත් එක තමයි ජේ ආර් ගේ කපටි දේශපාලනික මොලේ ඉතා නිවැරිදිව දැක්ක ඩඩ්ලිගේ මෝඩ කම. එනම් මහත්වරුන්ගේ දේශපාලනය ලංකාවට හරියන්නේ නැහැ කියන එක. ඒක  මුලින්ම දැක්කේ ජේ ආර් ඒ වගේම too smart gentleman වෙන්න ගිහින් මුලින්ම අනාගත්තේ රනිල් නොවෙයි ඩඩ්ලි. රනිල් ඒ පරපුරේ දෙවැනියා.
Farce
Farce 

මෙතනදී මොනවා උනත් කාල් මාක්ස් සීයාගේ ආර්ථික ක්‍රමවේදයට මම මොන තරම් විරුද්ද උනත් මිනිහ කිව්ව් සමහර දේවල් වලට මම කැමතියි. මිනිහ කිව්වා නේ අර ඉතිහාසය repeat itself twice මොකද්ද කතාවක්. එහෙම එකමදේ දෙවරක් ආපසු වෙනකොට පලවෙනි පාර tragedy යක් දෙවැනි පාර වෙන්නේ මල විකාරයක් විදියටලු. ඉතින් මාක්ස් සිය හරි. පලවෙනි පාර නායකයා ඩඩ්ලි දෙවැනි පෙළ නායකයා ජේ ආර් අවසන් උනේ 70 සිරිමාවෝ බලයට පත්වෙලා, ජෙප්පෝ පළවෙනි කැරැල්ල කරලා තරුණ ජිවිත සියදහස් ගණනක් නැතිවෙලා සහ සිරිමා ඇන් ඇම් ලංකාවේ ආර්ථිකය ෆක් කරලා අවුරුදු හතක් මිනිස්සු කන්න නැතිව හාල් පෝලිම් වල ඉඳල මහා  tragedy යකින්. මේ දැන් දෙවැනි පාර මේකම වෙන්නේ farce එකක් විදියට ඩඩ්ලි හිටපු තැන රනිල් නායකයා ජේ ආර් හිටපු තැන සජිත් ප්‍රේමදාස ....රට,,රජතුමා සහ සහෝදර පිරිසට ගිය මල විකාරයක් හැටියට ,,,,,,,

by ©Uditha Meegahathenna

Saturday, January 11, 2014

දුයිෂෙන් සහ කරුණාරත්න සර් - නව ගුරු ගීතය| Uditha's Remix Version

මම කවුළුව හැරියෙමි. කාමරය තුලට සිසිල් සුළං හමා එයි. සුපුරුදු කණිසමට අරුණෝදයේ දෙනෙත් හැරුණු නමුත් ගිම්හාන පාසල් නිවාඩුව ඊයේ සිට ආරම්භවූ බව එකවරම සිහිවීමෙන්  සියුම් අලස සතුටක් සිත තුල හට ගත්තේ දෑතින් බදා  වැළඳ ගත නුහුණ ප්‍රමෝදයක් ඇති කරමිනි..  අඩක් විවරවී තිබූ ජනෙල් පියන වසා දමා මම නැවතත් යහනේ දිගා වුනෙමි. පසුගිය පාසල් වසර පුරා පාසලේ අපේ පන්තියේ  සිදුවූ අපුරු කතාව මා සිත තුල ඇතිකරන ලද කම්පනය කෙතරම් විශාලදැයි කිවහොත් ඒ ගැන යලි යලි නොසිතා ආපසු නින්දට යාමට ශක්තියක් මට නොමැති විය.  අඩ අඳුරේ වැතිරී හිඳ  අරුණෝදයේ නිසලතාව මැදින් මම කල්පනා කරන්නට වීමි.

තෙවැනි වාරයේ අවසාන විභාගයේ ප්‍රතිපලය  අප සියල්ල පුදුමයට පත් කළේය. මා අසමත්වීම ගැන මා එතරම් විමතියට පත්වුයේ නැත. මා මෙවර විභාගයට කිසිම උනන්දුවකින් පාඩම් නොකල බව මා දැන සිටියෙමි. ඒ චාම් ඇත්ත සොයා ගැනීම නිසා මම කලනොකිරුණෙමි. නමුත් අපේ පන්තියේ සිටියේ වැඩබැරි අදක්ෂ ළමයින්ද නොවේ. පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් කලාපයේ ඉතා ඉහල ලකුණු ලබා සමත්වී රටේ විවිධ පළාත් වලින් අප පාසලට ආ ළමයින්ද  මේ අතර විය. අපේ පන්තියේ  බොහෝ අය මිට පෙර වසරේදී  දක්ෂතා අතින් ඉදිරියෙන්ම හිටිය පිරිසකි.
මේ කතාව දිගින් දිගට නවකතාවක් මෙන් කීමට සංයමයක් මට නැත.   නමුත් ඔබට   කතාව කීම මගේ යුතුකමකි. මම හැකිතරම් කෙටියෙන් කීමට උත්සාහ කරමි.

හය වසරේදී මට දුයිෂෙන් හමුවිය. පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමෙන් අනතුරුව පරණ තාලයේ සපත්තු දෙකක්  හැඳගත් ඉත්තෑකූරු හිසකෙස් ඇති ශිෂ්‍යයෙක් අපේ පාසලට අවේ ය. මට ඔහුගේ ස්වරුපය අදමෙන්  හොඳහැටි මතක තබා ගැනීමට හැකි වූයේ නළල දිගේ බේරෙන තරමට පොල්තෙල් ගා හිස පිරීමට උත්සාහ ගෙන තිබුන   නිසා විය යුතු ය.කොළඹ හතේ අගනුවර ප්‍රධාන පාරවලින් වටවූ කොන්ක්‍රීට් යායක් මැද තිබුන අපේ පාසලට අමුතු රුසියානු නමක් තිබූ මේ ගැටවරයාගේ පැමිණී ම අපිට විශේෂ සිද්ධියක් විය.
ගැමි පෙනුමක් සහිත  ඔහු මොනරාගල පැත්තේ රජයේ  ඇමතිවරයෙකුගේ පුතෙක් යන   රාවයක් පළමුවෙන් ම පැතිර ගියේ ය. ඒ අනුව අපි සියල්ල ඔහු හා මිතුරු වන්නට කැමැත්තෙන් සිටියෙමු. , මීට අවුරුදු කීපයකට පෙර ලංකාවේ වාමාංශික පක්ෂයක සාමාජිකයෙකු වී සිට පක්ෂයේ සෝවියට් සම්බන්දතා  නිසා රුසියාවට  ගොස් කලක් එහි ජීවත්වී ඇති අයිවන් සමරවීර නම්  සමසමාජවාද නායකයෙකුගේ   ගේ පුතෙක් බවත් පසුව මම දැනගත්තෙමි. ඔහු දුයිෂෙන් යනුවෙන් තමන්ගේ එකම පුතාට නම තබා ඇත්තේ ඔහුගේ ප්‍රියතම රුසියානු නවකතාවක චරිතයක් අනුසාරයෙනි.
6 වසරේ පන්තියේ පළමුවැනි වරට අප පාසලට පැමිණිදා  දුයිෂෙන්ට  මුලින්ම වාඩි වෙන්නට ඉඩ ලැබුනේ මා අසලිනි .පොත් බහා තියෙන සූට් කෙස් එකක් වන් රුසියානු නමක් සහිත පාසල් බෑගය හැර පොත් පැන්සල් එලියට ගන්නා දුයිෂෙන් මා දෙස බලා සිනාසුනි. ඔහුගේ පොත් අතර රුසියානු ළමා කතා පොතක් තිබෙනු මගේ නෙත ගැටුනේ අහම්බෙනි. එය සිංහල පරිවර්තනයකි.
මොකද්ද පොත? මා ඇසුවෙමි.
"අපේ තාත්තා පරිවර්තනය කරපු රුසියානු ළමා පොතක් ඕනද?
මට කතා පොත දෙන්නට පෙර පිටු අතරේ දමා තිබූ යමක් ඉවත්කර ගැනීමට  දුයිෂෙන් පිටු පෙරලන්නට විය.
 පොත ඇතුලේ දමා  තිබූ රුසියන් ජාතිකයෙකුගේ පින්තූරයක් සහිත කොලයක් එලියට ගත් ඔහු එය මට  පෙන්වමින්  මෙසේ පැවසී ය.
"මේ තමයි ලෙනින් "
ඒ පින්තූරය ජීවිතයේ කිසිදිනක අමතක නොවන පරිදි ම සිතෙහි ඇඳිණි. එවැනි පින්තූරයක් ළඟ තබා ගැනීමට මටත් ඕනෑ විය, කුඩා කලදීම පියා අහිමිව මව පමණක්  සිටි මට ඒ පින්තුරයේ සිටි  ලෙනින්ගේ සුමුදු උණුසුම් බැල්ම දකින විට මට හැඟී ගියේ, ඔහු අපට මෙසේ කියන්නාක් මෙනි. “ දරුවනේ  නුඹලා දන්නවානම් කොතරම් සුභ අනාගතයක් ද මම  ඔයාලට හදල දෙන්න හදන්නේ කියල  "එය එවැනි  බැල්මකි.  ඒ නිශ්චල මොහොතේ දී ඔහු මා ගැන සිතන්නාක් මෙන් මට දැනිණි.
දිලිසෙන පෝස්ටර් මුද්‍රණය කරන කොළයක මුද්‍රණය කැරැ තිබූ ඒ පින්තූරය දුයිෂෙන් ලඟ බොහෝ කාලයක් තිස්සේ තිබුණු බව උනන්දුවෙන් බලන විට පෙනී යයි. නැමී වලින් දියවී ඉරිතැලී   තිබූ ඒ පින්තූරය ඔහුගේ පියා රුසියාවෙන් ගෙනා එකක් බව ඔහු මට කිවේ ආඩම්බරයෙනි.
එදා සිට හැමදාම දුයිෂෙන් මා අසල  පුටුවේ වාඩි විය. එදා පටන් අද දක්වා අපි හොඳම මිතුරන්ද වීමු.
දුයිෂෙන් සමරවීර නම් නව යොවුන් තරුණ සිසුවා  අන්තර් පාසල් කථික තරඟයෙන් මුල්තැන දිනාගත් දවස මට තවමත් මතකය. දුයිෂෙන්ට උරුමව ඇත්තේ සමසමාජ පක්ෂයේ නායකයෙකු වූ  ඔහුගේ පියා අයිවන් සමරවීට  තිබූ චතුර කථිකත්වය   බව මා  දැනගත්තේ පසු කලක ඔහුගේ පියා සහභාගී වූ රුපවාහිනී සංවාදයක් නැරඹීමෙන් පසුවය.
මිතුරන් සහ ගුරුවරුන්  සියල්ලගේම හිතදිනාගත් පන්තියේ කැපී පෙනෙන සිසුවකුද වූ දුයිෂෙන් නිතරඟයෙන්ම හැම වසරකදීම පාහේ පන්තියේ නායකයාද විය.මේ නිසාම පන්තියේ පොදු ආකල්ප මෙන්ම අප තුල වූ පුද්ගලික ආකල්ප පවා සකස්වීම කෙරෙහි දුයිෂෙන් ගෙන් ඇතිවූ බලපෑම ඉතා සුළුපටු නොවේ.
කාලය ගෙවී ගියේ විදුලි වේගයෙනි. මේ අතරතුර අපි දුයිෂෙන් ගෙන් උගත් දේ බොහෝය. මේවා ඔහු සිය පියාගෙන් අහුලාගත් දේවල් විය හැකි මුත්   දුයිෂෙන් තමා කියන හැම වචනයක්ම කිවේ දැඩි විශ්වාසයෙනි. මේ වනවිට මාද ඇතුළු පන්තියේ බහුතරය ඔහුගේ භක්තිමත් අනුගාමිකයින් වී සිටියෙමු.
සැබවින්ම දුයිෂෙන් කලේ වික්‍රමයකි. පාසලට කොට කලිසම් අඳින වයසේ සිටි අපි ආවර්තිතා වගුව, වීජ ගණිතය ඉගෙනීමට පෙර සමාජවාදය ගැන රුසියාව ගැන දේවල් දුයිෂෙන් ගෙන් දැනගතිමු. අපේ දේශපාලන ශබ්ද කෝෂය තුල ඒ වන විටත් ධනේශ්වරය  ,පිඩිත පන්තිය , සමාජවාදී විප්ලව ගැන දැනුම පවා අඩංගු විය.  දුයිෂෙන්ගේ කතා වලට සවන් දුන් අපි හදවතින්ම සමාජවාදීන් උනෙමු. ප්‍රතිලාභ සාධාරණ ලෙස හැමෝම බෙදා ගත්විට දුප්පතුන් නැති හැමටම සර්ව සාධාරන ලෝකයක් තැනිය හැකියයි දුයිෂෙන් අනුව යමින්  අපි තදින් විශ්වාස කළෙමු.

එය පටන්ගත්තේ මිට වසර කිහිපයකට  උඩදී ය. ඔව්, හරියට ම ඒ අපි ශිෂත්ව විභාගයට ලිව්වට පස්සේ  ගතවෙලා ගිය හතරවෙනි අවුරුද්දේදී...
මේ අවසන් වූ වසරේ පලවෙනි වාරයේ පළමු දිනය මට අදමෙන් මතකය. මේ අවුරුද්දේ අපේ පන්තිභාර ගුරුවරයා  වුයේ කරුණාරත්න සර් ය.ඉගැන්වීමට අතිදක්ෂ ගුරුවරයෙකු ලෙස ප්‍රචලිත  ඔහු පන්තිභාර ගුරුතුමා වී පැමිණී ම නිසා ඇති වූ ප්‍රීතිය සැඟවීමට කිසිවෙකු ඉදිරිපත් නොවී ය නමුත් ඊයේ ගිම්හාන නිවාඩුවට පාසල වැසීමට පෙරදා පවා අපේ කොලු නඩය සිටියේ කරුණාරත්න සර්ගේ අදහස් පිලිබඳ විචිකිච්ඡාවෙනි. අපේ පන්තිභාර ගුරුතුමා වීමට පෙර මා කරුණාරත්න සර් දැන සිටියේ මඳ වශයෙනි. ඔහු විශ්‍රාම යාමට ආසන්න මහලු වියේ පසුවන්නෙකි. උකුස්සෙකුගේ ගේ මෙන් දිගැති ඇහිබැමි වලින් යුතු කරුණාරත්න සර් උසැති ශාන්ත පුද්ගලයෙකි.  තුඩ තුඩ රැව්දුන් කටකතා වලට අනුව කරුණාරත්න සර් තරුණ කාලයේ එක්සත් ජාතික පක්ෂයේ  සාමාජිකයෙකි. 1977 ජේ ආර් ජයවර්ධන ජනාධිපති වරයා බලයට ගෙන ඒම සඳහා ක්‍රියාකාරී දේශපාලනයේ  යෙදුණ තැනැත්තෙකි.  එක්සත් ජාතික පක්ෂ   සාමාජිකයෙකු වශයෙන් මා එදා හිතින් මවාගත්තේ  ධනවත් ආත්මාර්ථකාමී සටකපට වෙළෙන්දෙකි .මේ ශාන්ත පුද්ගලයා ඉස්සර ජේ ආර්  බලයට ගෙන ඒම සඳහා වැඩකළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකුවැ සිටියේ යැයි හිතින් මවාගැනීමෙහි පවා මම අසමත් වීමි.

 මගේ මතකේ හැටියට එය ජනවාරි මාසයේ මුල්  හරියේ දවසක් විය යුතුය . ඒ ශීත දවසේ කරුණාරත්න සර් පන්තියේ නම් ලකුණු කිරීමෙන් අනතුරුව සුපුරුදු පරිදි අපි සමග සුහඳ කතා බහක යෙදී සිටියාය
මේ කාලය වන විට රටේ බලයට පත්වී සිටියේ සංධාන රජයකි. දුයිෂෙන් ගේ පියා අයිවන් සමරවීර ගේ නායකත්වයෙන් යුත් සමසමාජවාද පක්ෂය  ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් ප්‍රුමුක සන්ධානයකින් බලයට පත්වීම නිසා දැඩි වාමාශිකයකු වන අයිවන් සමරවීර  ට පවත්නා රජයේ කම්කරු ඇමතිකම ලැබී තිබුණි.
අපේ එදා කතාබහේ මාතෘකාව වුයේ  පෙරදා රැයේ වාද මණ්ඩලය නම්  රුපවාහිනී වැඩසටහනේදී දුයිෂෙන් ගේ පියා දැක්වූ අදහස්ය.
 විවාදයේ මාතෘකාව වූයේ ඒ වනවිට පුද්ගලික ව්‍යාපාරිකයන් ඉහිප දෙනෙකුට අයත්ව තිබූ තේ කර්මාන්තශාලා  කිහිපයක් ජනසතු කර රජයට ගැනීමට කම්කරු ඇමති අයිවන් සමරවීර ගන්නා උත්සාහයක් නිසා ඇතිවී තිබුන ගැටළුවක් ගැන මතුවී තිබුන කරුණු කාරණාය.

 “රජයේ තේ කර්මාන්තශාලා තේ අපනයෙන් ලබන ලාභය රටේ හැමෝම අතර සාධාරණව බෙදී යනවා “ යැයි දුයිෂෙන් සැණෙකින් පැවසී ය.
"පුද්ගලික අයිතිකාරයන් කිහිප දෙනෙක් ලාභය තනියම ගන්නවට වඩා  හැමෝටම සමව බෙදිලා යන එක සාධාරණයි නේද  සර්"
“ඒක එහෙම වෙනවනම් අපූරුයි දුයිෂෙන් , හැබැයි ඇත්තට කරන්න ගියොත් මේ ක්‍රමය අසාර්ථක වෙනවා කලකදී ලාභය නැත්තටම නැතිවෙලා ගිහින් වැහිලා යන්න පුළුවන්  
සේවකයන්ගේ  තියන රැකියාත් අහිමි වෙලා යන එක තමයි අවසානයේදී වෙන්නේ“
 “ඒ කොහොමද එහෙම වෙන්නේ සර් ?“ දුයිෂෙන් කලබල විය.
"දෙකයි තුනයි එකතුකරාම 5 යි වගේ පැහැදිලි ව පේන දෙයක් නේ මේ සැලසුම" 
“හරියට හරි“ පසුපස පේලියේ තවත් සිසුවෙකු  කියනු ඇසිණි.
ටික වේලාවක් නිශ්ශබ්දව සිටි  කරුණාරත්න සර් මෙසේ කීය. .
"හොඳයි අපි දුයිෂෙන් ගේ සැලසුම පරික්ෂණයක් විදියට මේ අවුරුද්දේ අහ්හදා බලමු අපේ පන්තියේ".
අපි හැමෝම මුහුණට මහුණ බැලුවෙමු 
"ඒ කොහොමද සර්" මම ඇසීමි.

හැමෝම මහන්සිවෙලා වැඩකරන්න, මම වාර අවසානයේදී  ලකුණු දෙන්නේ දුයිෂෙන් ගේ සැලසුම අනුව. ඒ කියන්නේ හැමෝම ගන්න ලකුණු එකතු කරලා පන්තියේ ළමයි ගණනින් බෙදනවා එතකොට එන සාධාරණ සාමාන්‍ය  ලකුණු ගණන  තමයි  හැම කෙනාටම ලැබෙන්නේ. කාටත් සාදාරනයි. දුයිෂෙන් කියන විදියටම   ලකුණු  පන්තියේ  හැමෝම අතර සාධාරණව බෙදී යනවා  කීප දෙනෙක්ට විතරක් වැඩි ලකුණු හම්බ වෙන්නෙත් නෑ ඒ වගේම බැලූ බැල්මට පේන විදියට කිසි කෙනෙක් ෆේල් වෙන්න විදියකුත් නෑ.
මේ අවුරුද්දේ මම ලකුණු දෙන්නේ මෙහෙමයි. ඔයාල මුළු පන්තියම ගන්න ලකුණු වල සාමාන්‍යය 75 ට වැඩි නම් A සාමාර්ථයක් හැමෝටම ලැබෙනවා. 50 ඉඳන් 75 දක්වා ගණනක් අවොත් B සාමාර්ථයක් 25  ඉඳන් 50 දක්වා C ඒ වගේම පන්තියේ සාමාන්‍යය 25 ට අඩු උනොත් හැමෝම ෆේල්. ඔයාල කැමතිද? හැබැයි
මතක තියා ගන්න ලකුණු අසුවක් සියක් උනත් ගන්න කෙනෙක් අසමත් වෙන්න පුළුවන් මේ ක්‍රමයේදී හැමෝම පන්තියක් විදියට එක සමානව උනන්දුවෙන් වැඩ කරේ නැත්නම්
මේ අලුත් ලකුණු දීමේ ක්‍රමයට විරුද්ද වූයේ සේනානායක සහ ජයවර්ධන පමණි 
දුයිෂෙන් එයින් අධෛර්‍ය්‍යයට පත් නොවූයේ, විවේක කාලයේ දිගු කතාබහක් අවසානයේ මේ ලකුණු ක්‍රමයට ඔවුන් දෙදෙනාත් එකගකරවා ගැනීමට සමත් විය.

පලමු වාරය අවසන් විය දුයිෂෙන්ගේ බලාපොරොත්තු සැබෑ කරමින් සියලුම දෙනා B සාමාර්ථයක් ලැබිය.
නිදිමරාගෙන පාඩම් කල මහන්සිවී වැඩකළ කිහිප දෙනා  තමන්ට පුද්ගලිකව  අහිමි වුන A සමාර්ථය ගැන අසතුටට පත්වී සිටියහ. අඩුවෙන් පාඩම් කරන ලද  ළමයි මහත් සේ සතුටු විය.
කාලය ඉකමනින් ගලා ගොස් දෙවන වාරයේ විභාගයද ලංවිය.
කොහොමත් පාඩම් කිරීමට උනන්දුවක් වැඩිපුර නැති අඩුවෙන් පාඩම් කරන සිසුන් පිරිස මේ වාරයේ තවත් අඩුවෙන් පාඩම් කරන ලද අතර මහන්සිවී වැඩකළ කිහිප දෙනාද මේ 

වාරයේදී කෙතරම් මහන්සි වී වැඩකලත් ලකුණු බෙදීයන නිසා  තමන්ට පමණක් පුද්ගලිකව  A සමාර්ථ ගැනීමට නොහැකි බව දත්තේ  අනුන්ගේ පානෙන්ම එලිය බැලීමට තීරණය කරන ලදුව මේ වාරයේදී ඕනෑ කමින්ම අඩුවෙන් මහන්සි විය.
දෙවන වාරයේ සාධාරණ සාමාන්‍ය  ලකුණු ගණන ගණනය කිරීමෙන් පසු සියලු දෙනා  C සාමාර්ථයක් ලැබිය.
දුයිෂෙන් සහ පරාක්‍රම හැර පන්තියේ සියලු දෙනා අසතුටට පත්වී සිටියහ.

මා කලින් කී පරිදි තෙවැනි වාරයේ අවසාන විභාගයේ ප්‍රතිපලය  අප සියල්ල පුදුමයට පත් කළේය.
සාධාරණ සාමාන්‍ය  ලකුණු ගණන ගණනය කිරීමෙන් පසු සියලු දෙනා අසමත් වී තිබුණි. සියල්ලටම ලැබුනේ F ය.
වෙනත් කෙනෙකුගේ අර්ථලාභය, ප්‍රතිඵලය, ප්‍රතිලාභය,වැදගැම්ම, ශුභසිද්ධිය වෙනුවෙන් මහන්සි වී කැපවීම කිසිම කෙනෙක් අවසන් වාරයේදී කර තිබුනේ නැත. අවසානයේදී ඉතිරිවූයේ සිත් රිදවගැනීම් සහ එකිනෙකා එකිනෙකාට දෝෂාරෝපණය කර ගැනීම පමණි,
කරුණාරත්න සර් ගේ වචන තවමත් මගේ හිසේ කරකැවෙයි. 
"මේ වගේම තමයි ළමයි දුයිෂෙන් ගේ සමාජවාදය ත් අන්තිමේදී අසමත් වෙනවා මෙන්න මේ සරල හේතුව නිසාම.   
"ප්‍රතිඵලය, ප්‍රතිලාභය ,පාරිතෝෂිකය මහන්සියේ තරමටම වැඩියෙන් ලැබෙනවානම්  මිනිස්සු දේවල් වලට වෙන මහන්සිය  වැර වෑයම වැඩියි. ජය ගන්න දියුණුවෙන්න කරන කැපවීම වැඩියි මේක මිනිස් ගතියක්  ඒත් දරුවනේ ප්‍රතිඵලය, ප්‍රතිලාභය ,පාරිතෝෂිකය රජය හරි මෙතෙන්දි නම් පන්තිභාර ගුරුවරයා වන මම මැදිහත් වෙලා හැමෝටම සාධාරණව බෙදල දෙන්න ගියාම  කිසිම කෙනෙක් ජය ගන්න දියුණුවෙන්න උත්සාහ දරන්නෙවත් ඒකට ඕනෑ කමක් ඇති වෙන්නෙවත් නැහැ."

දුයිෂෙන් ගේ මතිය මායාවක් බව වටහා ගැනීමට මට තවත් කිසිදු සංකීර්ණ පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවිය.

(ඊ මේල් හරහා පැතිරී ගිය කතුවරයකු නොමැති ප්‍රබන්ධිත ඇමරිකානු ගුරුවරයකු පිලිබඳ කතාවක් ඇසුරින් සහ දැදිගම ගුරුගිතය සිංහල පරිවර්තනය ඇසුරින් නිර්මාණය කරන ලදී)