Pages

Followers

Sunday, September 30, 2012

නිදහස නැති කරන "නිදහස්‌ අධ්‍යාපනය" සුරකිමු සටන් පාඨ

නිදහස නොමිළේ නොමැත
නොමිළේ  අධ්‍යාපනය ලංකාවේ නිදහස් අධ්‍යාපනය නම් මැජික් වචනයෙන් හදුන්වයි. මෙය සත්‍යයක් ලස ගතහොත් නිදහස යනු නොමිලේ යන්නයි.  free යන ඉංග්රීසි වචනයට සිංහළ තේරුම් කිහිපයකි  විවේකය, නිදහස , මිදීම , නොමිළේ, ගෙවීමක් නොමැති වැනි යෙදුම්  අතරින් නොමිළේ ලබා දෙන අධ්‍යාපනය free education  සදහා නිදහස් යන්න භාවිතා කරන්නේ ඇයිදැයි මටනම් නොතේරේ . නොමිළේ  අධ්‍යාපනය හි free මුක්‍ය අර්ථය  සම්බන්ධ වෙන්නේ  මෙය ලබාදීම සදහා  අවශ්‍ය අරමුදල් සැපයෙන්නේ බදු මුදල් වලින් යන්න ගම්‍ය වීමයි.
පාසල් අධ්‍යාපනය නොමිළේ දීම වරදක් නැත 
අද ලෝකයේ සංවර්ධිත  සියලුම රටවල් පාහේ සහ  සංවර්ධනය වෙමින් පවතින බොහොමයක් රටවල  ප්‍රාථමික හා ද්ව්තීය අධ්‍යාපනය නොමිළේ ලබා දෙයි. මෙය අත්‍යාවශ්‍යයයෙන්ම විය යුතු දෙයක් බව ඕනෑම රටක  ඕනෑම තරාතිරමක පුද්ගලයෙකු පක්ෂ භේදයකින් තොරව පිළිගන්නා කාරණයකි. උසස් පෙළ දක්වා රජයෙන් නොමිලේ අධ්‍යාපනය ලබාදීමට මමද සම්පුර්ණයෙන්ම එකඟ වෙමි.
විශ්ව  විද්‍යාල අධ්‍යාපනය නොමිළේ දිය යුතුද?
විවිධ රටවල් ,පක්ෂ, මිනිසුන් ,රජයන්  අතර මතභේදයකින් තොරව විසඳා  ගත නොහැකි ගැටළුව විශ්ව  විද්‍යාල අධ්‍යාපනය නොමිළේ දිය යුතුද යන්නයි. මේ  සම්බන්ධයෙන් විවිද මිනිසුන් තුල විවිධාකාර අදහස් ඇත. ලොවපුරා විවිධ  රජයන් විවිධ  ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි. උදාහරණයකට ඇමරිකාවේ මේ සම්බන්ධයෙන් මධ්‍යගත ප්‍රතිපත්තියක් නොමැත. ඇමරිකාවේ බොහෝ ප්‍රාන්ත වල විශ්වවිද්‍යාල අධ්‍යාපනය සදහා ගාස්තු ගෙවිය යුතු අතර ශිෂ්‍යත්ව ශිෂ්‍ය ණය ආධාර ඉල්ලුම් කිරීමේ හැකියාව ඇත. . බොහෝ විට මේ ගාස්තුව දර ගත නොහැකි පුද්ගලයන් සදහා මුල්‍යමය උපකාර ප්‍රාන්ත රජය සපයයි. සමහර රජයන් විශ්වවිද්‍යාල අධයාපනය පුරවැසියන්  ගේ අයිතියක් ලෙස සලකනු ලබා සම්පුර්ණයෙන්ම නොමිලේ දීමට කටයුතු කරයි.
ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය 
ලංකාව ප්‍රතිපත්තියක් ලෙස ප්‍රාථමික ද්ව්තීය හා විශ්වවිද්‍යාල    අධයාපනය සියලු  පුරවැසියන්  ගේ අයිතියක් ලෙස සලකනු ලබා සම්පුර්ණයෙන්ම නොමිලේ දීමට කටයුතු කරයි. නමුත් ප්‍රාථමික හා ද්ව්තීය අධ්‍යාපනය සදහා  මෙයට යටින් දිවෙන පුද්ගලික පාසල් අන්තර්ජාතික පාසල් ජාලයක්ද පවතී. පුද්ගලික විශ්වවිද්‍යාල නොමැති වුවද මුදල් ගෙවා යා හැකි රජය මගින් පාලනය වන විවෘර්ත විශ්වවිද්‍යාලය සහ එවැනි  උසස් අධ්‍යාපන ආයතන මෙන්ම පිටරට විශ්වවිද්‍යාල වල උපාධි පාඨමාලා මෙහි සිට කිරීමට  මුදල් ගෙවා අවස්ථාව ලබා දෙන පෞද්ගලික ආයතන ඇත.
තහනම් වචනය පුද්ගලික විශ්වවිද්‍යාල .
කිසිදු වග විභාගයකින් තොරව ගෙම්බාගේ අනිච්චාණුග ක්‍රියාවන් මෙන් ලාංකික මාරාන්තික විරෝධය එලියට පනින්නේ මෙතැනදීය.  කිසිදු ප්‍රමිතියකින් තොර පුද්ගලික පාසල්, ටියුෂන් පන්ති වල සිට පිටරට උපාධි කඩ දක්වා ඕනෑම දෙයක් ඉවසුවද මේ පෞද්ගලික විශ්වවිද්‍යාල නම් අපිට ඕනෑ නැත. සල්ලි තියන උන් පිටරට ගොස් ඉගෙන ගත්තාටද කම්නැත නමුත් මේවා මෙහේ දැම්මොත්  අපේ රට සහ අපි විඳින මේ නිදහස නැතිවී ගොස් හරියට අර පුද්ගලික මුදල් ගෙවන විශ්වවිද්‍යාල ඇති අන්න අසරණ ඇමරිකාව, එංගලන්තය වැනි රටක් බවට  පත්වේ යැයි බියෙන් වෙලී යයි.ලංකාවේ විවාදය ඇත්තේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිළේ දිය යුතුද යන්න නොව එහි තර්කයක් නොමැත. ඒ දෙන ගමන් ඊට අමතරව උවත් කිසිම කෙනෙකුට පුද්ගලික විශ්වවිද්‍යාල නම් මේ වැයික්කිය තුල දැමිය  නොහැකිය. මෙයට කියන්නේ නිදහස් අධ්‍යාපනය කියාය. මෙය මුදල් ගෙවා ඉගෙන ගැනීම කැමති අයකුගේ නිදහස  උල්ලංඝනය වන  චන්ඩි කමක් සදහා  නිදහස යන වචනය කිරීමකි.
තවෙකුගේ නිදහස නැති කරන  "නිදහස්‌ අධ්‍යාපනය" සුරකිමු සටන් පාඨ 
අපි පැහැදිලිවම කියන්න ඕන ආචාර්යවරුන්ගේ සටනට අපි උපරිම ලෙස සහයෝගය දෙනවා. නමුත් අපට ප්‍රශ්න දෙකක්‌ තිබ්බා. එක ඔය සටන් පාඨයට අදාළ කාරණාව, දෙක අධ්‍යාපනය පෞද්ගලීකරණයට එකඟ පක්‍ෂ, අධ්‍යාපන අයිතිය අහෝසි කිරීම තම ප්‍රතිපත්තිය කරගත් සමහර දේශපාලන පක්‍ෂ එක්‌ක අපිට ගනුදෙනු කළ නොහැකිවීම කියන කාරණාව.- අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු- සංජීව බණ්‌ඩාර12/9/30 ඉරිදා දිවයින
සංජීව බණ්‌ඩාර වැනි පුද්ගලයන්ගේ ගැටළුව නම් තමන්  කැඳවුම්කරු ලෙස මරාගෙන මැරෙන පාගමන් සදහා සිසුන් කැදවන්නේ  තවකෙකුගේ නිදහස අයිතිය නැතිකිරීමට බව නොදැනීමයි. ඔවුන්ගේ පරස්පරය නම් සටන් වදින්නේ රජය සමග  රාජ්‍ය අධ්‍යාපනය රජයට ම තියා ගන්න කියා ඉල්ලීමටය . රාජ්‍ය බලයට වරින් වර  ආණ්ඩු  පත් වෙන්නේ ද මෙයම කියාය. එනම් අපි බදු  එකතු කරලා ඒ මුදල් වලින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ තව තව ඒ වගේ දේවල් ගොඩක් නිකම් දෙන්නං කියාය.  ආණ්ඩුවකට තමන්ගේම මුදල් නොමැත. ඔබට කාට හරි දෙයක් නිකම් දෙනවා යැයි කියා පොරොන්දු විය හැකිය  නමුත් කවුරුන් හෝ ඒ පිරිවැය දැරිය යුතුය. මා සංජීව  බණ්‌ඩාර ගෙන් අහන්නේ මෙයයි. සංජීව ඔබ ඔබේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය 
රජය දිය යුතුයැයි කියන විට ඔබ සැබැවින්ම ඉල්ලන්නේ රටේ බදු ගෙවන පුරවැසියන්ට ඔබගේ විශ්වවිද්‍යාල වියදම් ගෙවන ලෙසයි. එවිට ඔබලාම උඩ දමන "සම අයිතිය" කියන එක එතනට අදාළ නැද්ද?  පොදු බදු මුදල් වලින් ඔබට නොමිලේ අධ්‍යාපනය දෙනකොට විශ්ව විද්‍යාලයට නොයන මට   ඒ වෙනුවට නොමිළේ  ලැබිය යුතු දෙය කුමක්ද?මම බදු ගෙවල ඔබේ අධයාපනයට උදව් කරන කොට  මට මුකුත්ම නැද්ද? අධ්‍යාපනයේ සම අයිතිය කියන්නේ ඕකටද?
නිදහස්‌ අධ්‍යාපනයට බදු ගෙව්වේ මේ රටේ ජනතාව. ඒ නිසා අපට යුතුකමක්‌ වගකීමක්‌ තියෙනවා ඉදිරි පරම්පරාවටත් මේ අයිතිය රැකදෙන්න.-සංජීව බණ්‌ඩාර12/9/30 ඉරිදා දිවයින
මෙහෙම කියන කොට බබෙක් නොවෙයි නම් එහෙම නැත්නම් නිර්මාල් රන්ජිත් දේවසිරි කියන විදියට  සිවපාවුන් උරගයින් නොවෙයි නම් තේරෙන්න ඕනෑ රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාම  නිදහස් අධයාපන අයිතියක් නොවෙයි කියන එක. උසස් පෙළ දක්වා රජයෙන් නොමිලේ අධ්‍යාපනය හැමෝටම සමව ලැබෙන එක සහ රජයේ විශ්වවිද්‍යාල වල සීමිතඉඩකඩ සදහා තෝරාගත් ටිකකට අනුන්ගේ සල්ලි වලින් විශ්වවිද්‍යාලයට යවන එක දෙකක්. ඒ මදිවට අනිත් අයට ඕනෑනම් යන්න පුද්ගලික විශ්වවිද්‍යාල දාන්නත් තහනම්. කැකිල්ලේ සටන් පාඨයක් නේද?
නොමිළේ  විශ්වවිද්‍යාල අධ්‍යාපනයට විරුද්ධ වීම "නිදහස්‌ අධ්‍යාපනය" ට විරුද්ධ වීමක්ද?
 එජාපය අධ්‍යාපන පෞද්ගලීකරණය කියන කාරණය වෙනුවෙන් සෘජුවම පෙනී සිටිනවා. ඒ අය සමඟ අපට පාගමන් යන්න බෑ! -ඉහත එම 12/9/30 ඉරිදා දිවයින
මෙතැන තියෙන්නේ තනිකරම වචන සෙල්ලමක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය  පෞද්ගලීකරණය වෙනුවෙන් පෙනී සිටීම යනු අධ්‍යාපනයේ සම අයිතිය ට විරුද්ධ වීමක් නොවෙයි. මා ඉහත පෙන්වා දී ඇති පරිදි  ඊට ප්‍රතිපක්ෂව හැම පුරවැසියාගේම සම අයිතිය වෙනුවෙන් පෙනී සිටීමක්.  සංජීව කියන විදියට ඔහොම එජාපය ප්‍රතිපත්ති ගරුක පක්ෂයක් නම් මාත් එජාපයට බැදෙනවා. එජාපය වැනි පක්ෂයකට අත්යාවශ්‍යයෙන් තිබිය යුතු යැයි මා සිතන තවත් ප්‍රතිපත්තියයක් කියා මා මෙය අවසන් කරන්නම්. "රජය පුද්ගලික ආර්ථික කටයුතු වලට මැදිහත් නොවිය යුතුය."