Search This Blog

Followers

Thursday, May 16, 2013

ලංකාවේ(රාජපක්ෂ වරුන්ගේ) අනාගතය, ජේ ආර් සහ මාග්‍රට් තැචර්

ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන කාලය  මිට වසර කිහිපයකට පෙර වසර 30ක් තිස්සේ පැවති යුද්ධයට නැවතීමේ ලකුණ තබන ලදී මෙය අපේ ජීවිතකාලය  තුල සිදුවූ විශාල පෙරළියකි. ඉන්පසු මේ දක්වා පසුගිය කාලය තුල සිදුවූ දෙය අපි කවුරුත් හොඳින් දනියි. "මොන වැරදි තිබුනත් දැන් අපිට බෝම්බ පිපිරෙනවද කියල හිතන්නේ නැතිව බය නැතිව පාරේ බැහැල යන්න පුළුවන්" යන සරල වැකිය තමන්ටම නැවත නැවත මතුරා ගනිමින් පිරිසක් පවත්නා අවිචාර සමය සමග සම්මුතිගත වෙයි. තවත් පිරිසක් "අනේ මම නම් කතා කරන්න අකමැතිම දේ තමයි දේශපාලනය"  කියමින් තමන්ගේ පාඩුවේ ඉන්නවා කියා සැනසෙන්න උත්සාහ කරති.  පුළු පුළුවන් අය පිටරට පනිති. බල  පුළුවන් අය විල ඉහගෙනම මාළු අල්ලති. බල පුළුවන්කාරයන් වටේ වටේ ඉන්නා අය ලොක්කන් අත නොතියන පොඩි පොඩි මාළු ටික රැගෙන යති.   බලය ඇති ලොක්කන් පිරිසක් තැටිය රත්කර රොටි පුච්චා ගෙන කති. වටේ ඉන්නා අය ලොක්කන් රත් කරන ලද තැටියෙන් තමන්ටත් රොටියක් පුච්චා ගනිති. 
ජාතික ආරක්ෂාව හැර රටේ අනෙකුත් සියලුම දේවල් රටේ නිතිය සහ පර්යාය,අධිකරණය,ආගම් සංස්ථා ,පවුල, පුද්ගලික දේපල අයිතිය ,සැමට සම අවස්ථා ,සියලුම රජයේ ආයතන සහ රටේ ආර්ථික දර්ශකය වන කොටස් වෙළඳපොල පවා දැන් කිසිම තාර්කික භාවයක් නැති ආයතන බවට පත්වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය යනු  පාර්ලිමේන්තුව වැනිම තවත් එක් වචනයක් පමණි. මේවා පොළොවට සම්තලාවිම පිලිබඳ වගේ වගක් ජනතාවට නැත. ඒ පිලිබඳ මට ජනතාව සමග ගැටළුවක් නොමැත. ජනතාව දේවල් තේරුම් ගන්නේ ඔලුවෙන් නොව ප්‍රායෝගික ජීවිතය තුලිනි. ජීවිතය කෙසේ හෝ තවමත් ගලා යයි ඉඳ හිට විනෝද චාරිකාවක් යාමට තවමත් හැකියාව පවතී. ඉහත මා නම් කරන ලද කඩා වැටුන ආයතන ලාංකීය පොදු ජනතාවගේ ප්‍රාරායෝගික ජිවිතයේ කිසිමදිනක වැදගත් කමක් අත්කරගත් දේවල් නොවිය.  
ඉහත කඩාවැටීමෙන් ජනතාවට ගානක් නැති වුවද ජනතාවට දැනෙන එක දෙයක් ඇත. ඒ තමන්ගේ පසුම්බියේ ඇති මුදල් ප්‍රමාණයයි. එදිනෙදා තමන්ගේ ජීවිතය පවත්වාගෙනයාම සඳහා අවශ්‍ය ආහාර මිලදී ගැනීමට තමාගේ පසුම්බියේ ඇති මුදලින් කෙතරම් ප්‍රමාණයක් වැය වන්නේද යන ප්‍රතිශත ගැටලුව යම් සීමාවක් කරා එළඹි වහාම  රටේ ඉහත ආයතන වල කඩාවැටීම  ආර්ථික කඩා වැටීමක් ලෙස රුපන්තරණය වී  පොදු ජනයාට දැනෙන්නට පටන් ගනී. පොකැට්ටුවේ එම සීමාව පසුකර ගියවිට   ජාතික ආරක්ෂාව කෙතරම් තහවුරු කර ඇතැයි කීවද මිනිසුන්ට වැඩක් නැත. මෙය තවම තේරුම්ගෙන නොමැතිවීම දක්ෂ රජයේ නිලධාරියෙකු ලෙස හඳුන්වනු ලබන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්මෙහි දුර්වලතා ලක්ෂයයි. රාජපක්ෂ වරුන්ගෙන් මම මෙහි ප්‍රථමයෙන් නම් කරන ලද ආරක්ෂක ඇමතිතුමා තමාගේ බලය අනාගතයට දිගටම පවත්වාගැනීම සඳහා අවශ්‍ය මුලික සාධකය ලෙස ජාතික ආරක්ෂාව දිවිහිමියෙන් රැකීම පමණක් ප්‍රමාණවත්ය යැයි සිතුවහොත්  එතුමාගේ අනාගතය තහවුරු කර ගැනීම සඳහා කොටින්ට එල්ල කල තුවක්කුව පොකැට්ටුව නිසා අසතුටට පත්වී සිටින  පොදු ජනතාව දෙසට හැරවීමට එතුමාට සිදුවනු ඇත. මෙය වළක්වාලීමට හැකියාව ඇත්තේද එතුමාටම පමණි. එතුමා ඔහුගේ දැක්ම ජාතික ආරක්ෂාව යන සිමාවෙන් ඔබ්බට ගොස් ආර්ථිකය දක්වා පුළුල් කරගත යුතුය. මෙහිදී ඔහුට කල හැකි දෙයනම් භය නැතිව යුධකර  ප්‍රභාකරන් පරාජය කලාක් මෙන් වහා නොබියව කලයුතු සිවිල් ආයතන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා දැනට බලයේ සිටින සිය සහෝදර රාජපක්ෂ වරුන්ට අවශ්‍ය සහයෝගය ශක්තිය  ලබාදීමයි. ජනතාව විනෝදයෙන් සතුටින් අනේ අපි දේශපාලනයට කැමති නැහැ කියමින් ඉන්නේ තමන් ගේ එදාවේල පිරිමසාගත් පසු තමන්ට විනෝදවීමට කෙතරම් මුදලක් අතේ ඉතිරිවෙනවාද යන සාධකය මතයි. තමන්ගේ විනෝදය සහ සතුට අහිමිවූ පසු මිනිසුන් වෙඩි උණ්ඩ ගණන් ගන්නේ නැත. 
මා ඉහත දක්වා ඇති සිවිල්  ආයතන (නිතිය සහ පර්යාය,අධිකරණය,ආගම් සංස්ථා ,පවුල, පුද්ගලික දේපල අයිතිය ,සැමට සම අවස්ථා ,සියලුම රජයේ ආයතන,,, සහ  කොටස් වෙළඳපොල) තවදුරටත් අතාර්කික ලෙස කඩා බිඳ දැමීම වලක්වා නැවත ඒවා නිවැරිදි නොකෙරුවොත්  සහ අත්‍යාවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ   නොකර සිටියහොත් නුදුරේදීම  ලංකාව ට මෙන්ම රාජපක්ෂ වරුන්ටද මා මේ අනතුරු හඟවන අමිහිරි සත්‍යයට මුහුණ දීමට සිදුවනු ඇත. අසතුට පත් මිනිසුන් මරා මර්ධනය තුලින්  බලය රැකගන්නවාට වඩා රටේ ආර්ථිකය නංවාලීම විධිමත් පරිදි සිදුකර මිනිසුන් සතුටට පත්කිරීම තුලින් බලය රැක ගැනීමට තවමත් රාජපක්ෂ වරුන්ට අවස්තාව විවෘතව ඇත. 
මෙය කිරීමට මේ මොහොතේ ඇත්තේ එකම ක්‍රමවේදයක් පමණි. මා යෝජනා කරන ක්‍රමය හැර වෙන ප්‍රායෝගික ලෙස කිසියම් රටක සාර්ථක වූ වෙන විසඳුමක්  කවුරුන් හෝ යෝජනා කරන්නේ නම් මා සතුටුය නමුත් මා දකින්නේ දැන් පවත්නා තත්වය යටතේ රට ගොඩ ගැනීමට ඇති එකම විසඳුම පහත මා ඉදිරිපත් කරන සමාජ ,ආර්ථික ප්‍රතිසංස්කරණ යුධ මෙහෙයුම පමණකි. රාජපක්ෂවරුන් මේ මා කියන මාවත දිගේ කෙතරම් දුර ගමන්    කරනවාද යන්න මත රටේ අනාගතය තීන්දු වනු ඇත.
මා දැන් කියන දෙය නිසා හිත හොඳ බොහෝ මිනිසුන්ට මා සමග කේන්ති යනු ඇත නමුත් ඔවුන් ගේ  අසතුට නොසලකා මා  මෙය කිව යුතුය. 
පාලකයින්ද ඇතුළුව රටේ ජනතාවගෙන්ද බොහෝ පිරිසක් තවමත් වටහාගෙන නොමැති වුවද  පාර වැරදි  අපි දැන් යන්නේ විනාශයේ මාවත දිගේය. නුදුරු කාලයේ ආර්ථික ගමනේ පාර වැරදුනේ  මංගල සමරවීර උප්පරවැට්ටියක් යොදා රනිල් වික්‍රමසිංහ බලයෙන් පහකළ හන්දියේදීය. එසේ පාර  වැරදීම ජාතික ආරක්ෂාව යන කාරණයට සුභවාදී ලෙස බලපෑ බව බොහෝ දෙනාගේ මතයයි, ඒ පොදුජන මතයට මම හිස නමමි. නමුත් දැන් ජාතික ආරක්ෂාව තහවුරු වී ඇති නිසා ආර්ථික  විනාශයෙන් ගැලවීමට අපි රටක් වශයෙන් අපේ මාර්ගය නැවත නිවැරිදි කලයුතුය. ඒ සඳහා අපි දැන් රිවර්ස් ගියර් එකේ දමා නැවත රනිල් වික්රමසිංග බැසගිය හන්දියට ආපසු යා යුතුය. ඉන්පසු එතැනින් නිවැරිදි ප්‍රයෝගික ලෙස ආර්ථිකය ජයගත හැකි මාර්ගය වෙත නැවත ප්‍රවිෂ්ඨ විය යුතුය. මෙහි රියදුරා ලෙස නැවත රනිල් වික්‍රමසිංහ ඕනෑ යැයි මම කියන්නේ නැත . ඔහු කොහොමටත් දක්ෂ රියදුරෙකු නොවේ. ඔහු සිතියම් බලා මග පෙන්වන්නෙකු ලෙස සුදුසුය. ගල් මුල් උඩින් රිය පැදවීමේ ජවය ඔහුට නොමැත. මහින්ද රාජපක්ෂ කනෙන් අල්ලා එලියට දැමු මංගල වැනි කපටි දුර්වල මිනිසෙක් ඉතා පහසුවෙන් එදා රනිල් රියදුරු අසුනින් එලවා සුක්කානම ඔහුගෙන්  පැහැර ගන්නා ලදී. ප්‍රමාදනොවී ක්ෂණික මුදල් සහ බල තන්හාව පසෙකලා   නිවැරිදි මාර්ගය කරා රට මෙහෙයවීමට යහපත් දැක්ම ඇතිකර ගන්නේ නම් රාජපක්ෂ වරු තවමත් රියදුරු අසුනට සුදුසුය.  
අප පසුකර ගොස් ආ හන්දියට ආපසු රිය පදවාගෙන ගොස් අපි නැවතත් නිවැරිදි මාවතට වැටිය යුතුය. අපට විශ්වාසයෙන් යුතුව  යෑමට දැන් ඉතිරිවී ඇත්තේ මේ  එකම එක පැහැදිලි  මාවත පමණි. මිට කලින් මේ මාවතේ ගිය අය සාර්ථක ලෙස ආර්ථික ව්‍යසන වලක්වා ආර්ථිකය ජයගත් බවට ඕනෑ තරම් සාක්ෂි ඇත. ඇත්තේ මේ මාවතේ නොබියව රිය පැදවිය හැකි මිනිසෙක් සහ වෙනස්වීමට ආකල්ප වෙනස්කර ගැනීමට ඇති ආත්ම ශක්තියයි.
වාමාංශික අන්ධ  භක්තිකයෝ කොතරම් අකමැති වුවද මා නොබියව කියමි. මේ මාවතේ මිට පෙර රිය පදවාගෙන ගිය රියදුරන් දෙදෙනෙක් නම් අපේ ජේ ආර් පප්පා සහ එංගලන්තයේ මාග්‍රට් තැචර් නෝනායි.
ජේ ආර් ට වැරදුනි. ජේ ආර් ට වැරදුනේ ඔහු ගිය පාර වැරදුන නිසා නොව වෙනත් සරල කාරණයක් නිසාය. ඔහු වාහනයේ බ්‍රේක් , සිග්නල් ලයිට් , එන්ජින් ඔයිල් වැනි දේ හරියට තිබේදැයි නොසලකා වාහනය මේ නිවැරිදි මාර්ගයේ දමා පදවන්න විය. මාර්ගය කෙතරම් නිවැරිදි වුවද මේ අඩුපාඩුව නිසා වාහනය මගදී අබලන් විය. බොහෝ දෙනා වාහනය මගදී අබලන් වීම හේතු නොසලකා  ජේ ආර් ගමන්ගත් මාර්ගයේ වැරද්දක් බව සිතති. මෙය නිවැරිදි නොවේ.  වාහනයේ තිරිංග සිග්නල් ලයිට් , එන්ජින් ඔයිල්  යනුවෙන් මා අදහස් කරන්නේ ඉහත මා පෙන්වා ඇති ආයතන (නිතිය සහ පර්යාය,අධිකරණය,ආගම් සංස්ථා ,පවුල, පුද්ගලික දේපල අයිතිය ,සැමට සම අවස්ථා ,සියලුම රජයේ ආයතන,,, සහ  කොටස් වෙළඳපොල)  වැනි ආයතනික ප්‍රතිසංස්කරණ කිරීම සහ  නෛතික රාමුව නිවැරිදි කර ගැනීමයි මෙය වාහනය සර්විස් කර ගමනට සුදූසු ලෙස නවීකරණය කර ගැනීමයි. ඉන්පසු අපි එය අපිට පෙර ජේ ආර් පප්පා සහ මාග්‍රට් තැචර් නෝනා ගිය මාවතේ දැන්වත් විශ්වාසයෙන් යුතුව පැදවිය යුතුය.
මාග්‍රට් තැචර් නෝනා රජය සතු පාඩු ලබන අති විශාල කර්මාන්ත සහ ව්‍යාපාර නොබියව පුද්ගලිකකරණය කරන ලදී. රජය සතු ජාතික ගුවන් සේවා (British Airways), නාවික අංශය , වාහන නිෂ්පාදන, දුම්රිය සහ සියලුම ජාතික උපයෝගිතා සේවා (විදුලි,ගෑස් ,ඉන්ධන,ජල සැපයුම්) සියල්ල යකඩ ගැහැනියක් සේ නිදහස් වෙළඳපොළට විවෘත කරන ලදී.
" පුද්ගලිකකරණය...බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ගොඩගත් ප්‍රධානතම සංකල්පයයි" යනුවෙන් ඇය ඇගේ මතක සටහන් තුල  සටහන් කලද 
මා සිතන්නේ ඇය කල ලොකුම දෙය නම් අගාධය කරා නිසැකව යොමුවී ඇති අබලන් පාලම් ඇති වල්වැදී ඇති සමාජවාදී පාරෙන් වාහනය රිවස් කර  අනෙක් මාර්ගයට ගැනීමයි.
ඒ නෝනා කොමිනිස්ට්වාදයට එරෙහිව නොබියව යකඩ ගැහැනියක් සේ හිටගෙන එවකට සුභසාධන රාජ්‍යයක් වූ එක්සත් රාජධානියේ  මුල්‍ය වෙළඳපොල නිදහස් කිරීම සහ බයනැති දේශපාලන තීන්දු ගන්නා ලදී.
රාජපක්ෂවරුන්ගේ මෙන්ම ලංකාවේද අනාගතය රඳා පවතින්නේ රාජපක්ෂ වරු යකඩ මිනිසුන් මෙන් යුද්ධ කල විලසින් සමාජ ආර්ථික දැක්ම තුලත් කෙතරම් යකඩ මිනිසුන් ලෙස හැසිරෙන්නේද යන කරුණ මත පමණි.  ඔවුන් කල යුතු දේ දැන් නොකර සිටියහොත් වෙන්නේ චන්ද්‍රිකා නෝනා මෙන් වට වංගු ගසමින් රට එකතැන කැරකීම පමණි. 
රාජපක්ෂ වරුන්ට මා දෙන සුත්‍රය ඉතා සරලය. ඔවුන්ට මා කියන්නේ රටේ ජයග්‍රහණයේ මාවත මෙන්ම ඔවුන්ගේ ජයග්‍රහණයේ මාවත බැවින් මා සමග උරණ විය යුතු නැත.
මා ඔවුන්ට නොබියව කියමි.With all due respect, Sir, 
1. දැන්වත් හම්බන්තොට style එකට විල  ඉහගෙන මාළු ඇල්ලීම නවත්වන්න (රට ගොඩගත් විට ට්‍රෝලර් දමා මාළු ඇල්ලිය හැක)- ගෝලයන් හිත මිතුරන් ඔබලාද විකුණමින් කරන දුෂණ වංචා වලට තිත තියන්න.
2. සමාජවාදී සුභසාධන මාවතෙන් ආපස්සට වාහනය රිවස් කරගෙන රනිල් ගෙන් සුක්කානම උදුරාගත් හන්දියට ආපසු යන්න.
3. බ්‍රේක් , සිග්නල් ලයිට් , එන්ජින් ඔයිල් දමා වාහනය සර්විස් කරන්න  (රටේ ආයතනික ප්‍රතිසංස්කරණ කිරීම සහ  නෛතික රාමුව නිවැරිදි කර ගැනීම)
4. යකඩ මිනිසුන් ලෙස පැයට සැතපුම් 100 වේගයෙන් රිය පදවා  ධනවාදී නිදහස් වෙළඳපොල ආර්ථිකය ක්‍රියාත්මක කරන්න. (we already running late)



by ©Uditha Meegahathenna