Search This Blog

Followers

Wednesday, November 26, 2014

ලොකු ළුණු සහ අල



ඊයේ ලොකු ළුණු ගොවින් විසින් ලොකු ළුණු කිලෝවකට රුපියල් 100ක නිශ්චිත මිලක් ඉල්ලා කල උද්ගොෂණයට පිළිතුරක් ලෙස රුපියල් 90ක සහතික මිලක් ලබා දීමට රජය පොරොන්දු වී ඇත. මේ අතර ආනයනික ලොකු ළුණු විකිණීම හා අලුතින් ගෙන්වීමද තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.
චන්දෙ කාලෙට භලලෝභී දේශපාලකයින් ගොවි චන්ද ටික දිනාගැනීමට දේශීය කෘෂිකර්මය නම්දේශප්‍රේමයෙන් මත්වී අපේම බදු සල්ලි වලින් ඕවා මිලදීගෙන වැඩිමිලට විකුණාගත නොහැකිව කුණුවීයාමට සලස්වයි. අල සහ ළුණු කතාවේදීත් දේශපාලකයින් ජනතාවට දෙපැත්තකින් ... අරින්නේ අනික්හැමතැනකදීම මෙන් දේශප්‍රේමය ඉස්සරහට දමාය.
උන්ට චන්ද ටිකක් වැඩිකර ගැනීමට මේවා වැඩිමිලට මිලදී ගැනීමට යොදාගන්නේ උන්ගේ සල්ලි නොව අපේම බදු මුදල්ය. දෙවනුව මේ අල ළුණු අඩුමිලට ආනයයනය වැලක්වීමට අධික බදුගසා නීති දැමීම නිසා ජනතාවට අධික මිලක් ගෙවීමට සිදුවේ. දෙපැත්තකින් පොලිටික්කන්ට කියා තමන්ට ඇර ගන්නා සමහර බත්කන හරක් මෙවැනි ගල්යුගයේ ආර්ථික ප්‍රතිපත්ති දේශීය කෘෂිකර්මය නගාසිටුවන දේශපේ‍්‍රමී ප්‍රතිපත්තියැයි සිතමින් තමන්ටමඇර ගැනීම අහෝ සැපයි කියති.
ලංකාවේ වගා කොට ලාභ ලැබිය හැකි අනන්ත අප්‍රමාන වූ සංක්‍යාවක් දේ වෙළඳපොල ජයග්‍රහණය කොට ඉදිරියට නොපැමිණෙන්නේ මෙවැනි අමන තක්කඩි දේශපාලකයින්ගේ අමන ප්‍රතිපත්ති සහ ඒවා අනුමත කරන බත්කන හරක් චන්දදායකයා නිසාය.
අල/ළුණු  වගා කරන භූමියම උදාහරණයට ගන්නේ නම්. රජය හෝ දේශපාලුවන් ඇඟිලි නොගහන නුතන නිදහස් වෙළඳපොල ආර්ථිකය ප්‍රතිපත්තියක් ලංකාවේ තිබේ යැයි මොහොතකට උපකල්පනය කරන්න.දියුණු නුතන ආර්ථික ක්‍රමයක් තුල දේශපාලකයෝ සහ රජය මේවා මිලදී ගැනීමට හෝ ආනයනය ට බදු නොගසන සහ කිසිඳු ඇඟිලි ගැහීමක් නොකරයි. විය යුතු කුමක්දැයි වෙළඳපොල විසින් තීරණයට ඉඩහළ රටක් යැයි සිතන්න . එවිට අල/ළුණු වගාකරුවන් ට ඇත්තේ විකල්ප 4 කි මේවා දුෂ්කරතාවයේ පිළිවෙලට
1.ඔවුන් එක්කෝ නුතන තාක්ෂණික වගාක්‍රම භාවිතා කර ඉන්දියන් අල/ළුණු මිලට තරඟයක් දිය හැකි අඩු පිරිවැයක් සහිත අල නිෂ්පාදනය කල යුතුය
2. එක්කෝ අල/ ළුණු වෙනුවට ලාභ ලැබිය හැකි භෝගයකට මාරු විය යුතුය.
3. එක්කෝ අල / ළුණු වගාවෙන් ඉවත්වී රැකියාවකට යා යුතුය.
4. එක්කෝ පහසුම විදිය සියදිවි නසා ගැනීම
දැන් මෙවැනි රටක නූගත් අල/ළුණු ගොවියෙකුගේ උසස් අද්‍යාපනය ලද උගත් පුතෙකුට බත්කන හරකෙකු මෙන් දිවිනසා ගන්නවා වෙනුවට සිය පියාගේ ඉඩම් වල ලාභ ලැබිය හැකි වෙනත් භෝගයක් අත්හදා බැලීමට දේශපාලනික ආර්ථික පසුබිම උදාවේ.
උදාහරණයකට ඔහු අන්තර්ජාලයෙන් සොයාගත් තොරතුරු අනුව අපනයන කොට ලාභ ලැබිය හැකි රෝස මල් වර්ගයක් හෝ ගර්කින් වර්ගයක්  නුතන තාක්ෂනය යොදා වගා කිරීමට තීරණය කළා යැයි සිතමු. එවර පාඩු ලබන රජය මත යැපෙන අල වෙනුවට ලෝක වෙළඳ පොලේ තරඟයක් දියහැකි එම භෝගය  අපනයෙන් තවද ඔහු ඉතා කෙටි කලක් තුල එම ලාභය නිසා ධනවත් වීමෙන් තවත් වගාබිම් මිලදී ගැනීමටද හැකිවේ. වෙනත් ගොවියෙකු වෙනත් බෝගයක් අත්හදාබැලීම් කර ඔහුට වඩා ලාභ ලැබුවානම් එවිට මේ දෙන්නා අතර වෙළඳපොල තරගයෙන් ලංකාවේ වැවිය යුතු බෝග ඉබේමතීරණයවීවගාවන් අන්තර්ජාතික මට්ටමට ඉබේම දියුණු වේ.
ගොවියන් ලාභ ලබන භෝග වැවීමට පෙළඹීම නිසා රටම ලාභ ලබයි මේ නිසා රටට විදේශ විනිමය ලැබේ , අල වගාව තුරන් වී ගියද ආර්ථික වෙනත් බෝග අපනයෙන් අල වවා පාඩු ලබනවා වෙනුවට විශාල විදේශ විනිමය තිබෙන බැවින් ඕනෑ තරම් රටටම කන්න දෙන්නට ඉතා අඩු මිලට අඩු මිල අල ඉන්දියාවෙන් මිලදීගැනීමට රටට හැකියාව ලැබේ..
මුග්ධ අමන දේශපාලකයින් නිදහසින් පසු වසර 60 ක් තිස්සේ බදු ගසමින් සහ සම්ප්‍රධායික වගාවන් සහනාධාර මිලට අපේම බදු මුදලින් මිලදී ගමින් වලක්වාලන්නේ රටේ අනාගත දියුණුවයි.

Wednesday, November 19, 2014

මහාචාර්ය රොහාන් සමරජීව ගේ "නිමැවුම් කර්මාන්ත සමගින් බැඳී පෙම" ලිපිය සහ මාතලන් ගේ ආර්ථික විවරණය




ආර්ථික ප්‍රථිපත්තියක් අවශ්‍ය රනිල්ටද? මහින්දටද?  යනුවෙන් මාතලන් බ්ලොග්කරුගේ ලිපිය නිමිත්තකොට ගෙන   මහාචාර්ය රොහාන් සමරජිව ගේ  ලිපියක් © Lanka Business Online වෙබ් අඩවියෙහි ඉංග්‍රීසියෙන් පලවී තිබුණි  එයට මා සහෘද මාතලන් බ්ලොග්කරු දක්වන ලද  ක්ෂණික ප්‍රතිචාරයද මෙම යොමුවෙන් කියවන්න. එම ඉංගිසි ලිපියේ පරිවර්තනයක් රාවය පුවත්පතේ පරිවර්තනය කොට පලවී ඇති බව කියාතිබු  නමුත් අන්තර්ජාලය තුල සොයාගත නුහුණ බැවින් මගේ පහසුව උදෙසා  සහ මගේ බ්ලොග් සටහන් කියවන්නන් වෙනුවෙන් එම ලිපියේ  මා විසින් කල නව  පරිවර්තනය පහතින් දැක්වේ. සහෘද  බ්ලොග්කරු මාතලන් ගේ එම ලිපිය සහ මහාචාර්ය රොහාන් සමරජීව ගේ අදහස් සහ එයට මාතලන් දක්වා ඇති ප්‍රතිචාරය ගැන මගේ සත දෙක මෙම පරිවර්තනයට පහලින් ඇත.  
රොහාන් සමරජීව විසිනි
පරිවර්තනය -උදිත මීගහතැන්න
ශ්‍රී ලංකාව තුල  නිෂ්පාදන කර්මාණ්ත හිඟකම පිළිබඳව වැලපීමක් කවුරුහරි අතින්  අවුරුදු කිහිපයකට සැරයක්  ලියවෙනවා. සේවා ආර්ථිකය හරහා වන ආර්ථික වර්ධනය සැබෑ වර්ධනයක් නොවන බව ඔවුන් තර්ක කරනවා. මෑත කාලින පුරෝකථනයන් තුල මේ සේවාවන් යන්න බොහෝ විට සූදුපළ, ගණිකා වෘත්තිය, මත්ද්‍රව්‍යය වෙළඳාම වගේ නීතිවිරෝධී දුරාචාර වලට සම කරනවා.   මේ සේවා මානසිකත්වයෙන් අපි මිදිය යුතුයි , අපි සැම ශ්‍රී ලංකාව නිෂ්පාදන කර්මාන්ත මත පදනම්වූ ඉසුරුමත් දේශයක් කරන්න  උරදීමට  කැපවිය යුතු බවට මේ අය හඬ නගනවා.

මාතලන් නමින් ලියන සිතුවිලිවලින් සපිරි බ්ලොග්කරුවා නොබෝදා රජයක්  ගතයුතු සියලු ක්‍රියාමාර්ග පිළිබඳව  සංක්ෂිප්ත දළ සැලැස්මක් දක්වල තිබුනා.  ඔහු  කේන්ද්‍රීයව යොමුවන්නේ ජනාධිපති ප්‍රේමදාස ගේ ඇඟලුම් කර්මාන්තශාලා ග්‍රාමීයව ව්‍යාප්තියට ගත්  පරිශ්‍රමයටයි.  1977 ට පෙර එජාප සහ ශ්‍රීලනිප රජයන් නිර්මාණය  කරන ලද රජයට අයත් කර්මාන්ත සුදු අලින් ඔහු  හෙලා දකිනවා( එම සටහනේ  ඔහුගේ comments තුල ) . යටිතල පහසුකම් කෙරෙහි ඇති වර්තමාන අවධානය  33,000 ක් (ලංකාවේ ඇති ගම් ගණන ) කර්මාන්තශාලා නිර්මාණය කිරීම කෙරෙහි යොමුවිය යුතු බව ඔහු කියනවා.

නැණවත් සිතුම් සපිරිනු  බව පෙන්වා ඇති ඇති මේ  බ්ලොග්කරුවා, මෙම කර්මාන්තශාලා  සැදිය යුත්තේ කවුද? යන්න  අපිට අපැහැදිලි ලෙස අනුමාන කරන්න ඉඩහැර ගිහිල්ල.

අපේ රටේ දේශපාලන ආර්ථිකයේ  යථාර්තය ගැන අවබෝධයක් ඔහුට ඇති බවට සංඥා කරමින්  බලයේ සිටින දේශපාලන අධිකාරිත්වය මේ කර්මාන්තශාලා වලින් හම්බකරගෙන කෑමේ හැකියාව ගැන තැනක සඳහන්ව තිබූ නමුත්   එයත්   බහුවිධ ලෙස  අර්ථ නිරූපණය කරන්න පුළුවන්.

මේ කර්මාන්තශාලාත් අනෙක් රජයේ දේපල වගේම වෙන්න ඉඩප්‍රස්ථාව  තියනවා. රජයට අයිතියි නමුත් බලයේ සිටින දේශපාලකයන් විසින් ගසාකන ආයතන. එක්කෝ අනෙක් විකල්පය ලෙස මේවා එම දේශපාලකයින් ගේ  ගජමිතුරු ව්‍යාපාරිකයින්ට  අයිති වේවි.  

යටිතල පහසුකම් හෙළාදකින්නේ ඇයි?

යටිතල පහසුකම් සංවර්ධනය පිලිබඳ විවේචනාත්මක විග්‍රහය නිෂ්පාදන කර්මාණ්තයන්ද?  - සේවා ආර්ථිකයද? යන විවාදයත් සමග  ඒකාබද්ධ කර පටලවා ගැනීම කණගාටුවට කරුණක්.

අපි මෙහි යටිතල පහසුකම් යනුවෙන් සලකා ලබන්නේ   රටවැසියන් ට ඒකීය පුද්ගලයන් ලෙස හෝ   ව්‍යවසායන්ට තනිවම   ආර්ථිකමය වශයෙන්  පලදායී ලෙස  තමන්ටම සපයාගත නොහැකි පහසුකම්ය.

මහපාරක්  යනු , බොහෝ දෙනෙක් පාවිච්චි කරන අර්ථයෙන් , ඒකීය පුද්ගලයෙක්  හෝ  තනි  ව්‍යවසායක් විසින් මහා මාර්ගයක් හදනවට වඩා රජයෙන්  හොඳින් - සැලසුම්කරණය කරල මහාමාර්ගයක් හදන එක තුල බොහෝ  තෙරුම් සහගත බවක් තියනවා. ගාස්තු අයකරන පාරක් නොවෙයි නම් ,හැමෝම පොදු පාවිච්චියට ගන්න පාරක් තනි පාර්ශවයක් විසින් පිරිවැයක් දරල හැදීමට  ආර්ථිකමය ලෙස අනුබලයක් නැහැ.

රජය ප්‍රමාණාත්මක ලෙස යටිතල පහසුකම් නොසපයන විට වෙන්නේ  ඒකීය පුද්ගලයන් ලෙස හෝ   ව්‍යවසායන්ට වක්‍රිය ආකාරයෙන් තනිවම විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නයි. රජය ප්‍රමාණාත්මක ලෙස විදුලිබලය නොසපයන විට  ව්‍යාපාර ආයතන මිල අධික සහ පරිසරය දූෂ්‍ය කරන ඩිසල්  උත්පාදක යන්ත්‍ර වලට ආයෝජනය කරනවා
රජය ප්‍රමාණාත්මක ලෙස පොදු ප්‍රවාහන නොසපයන විට ප්‍රතිපලය තමයි ව්‍යාපාර ආයතන තමන්ගේ සේවකයින්ට තමන්ගේම බස් සේවා සපයන්න ගන්නවා (තමන්ගේ ව්‍යාපාරයේ යෙදෙන  කරන කාලය අඩුකරමින්, ඒ නයින්  මහත් අකාර්යක්ෂමව) සහ    ඒකීය පුද්ගලයන් මාර්ග තදබදය පරිසරය දූෂ්‍යවීම වැඩිකරමින්  යතුරුපැදි, ත්‍රීරෝද ,කාර් වලට ආයෝජනය කරනවා.

යටිතලපහසුකම් කරන හොඳ තමයි පුද්ගලයන්ට  හෝ   ව්‍යවසායන්ට  කළහැකි දේවල් වල වපරසිය පළල් කිරීම . උදාහරණයකට අධි-උෂ්ණත්ව කර්මාන්ත  (උදා: සෙරමික්, පිගන් ගඩොල්) දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ තිබුන  උනත් ව්‍යාපාරික තත්ත්වයක් වශයෙන් ස්ථාපිත නොවුනේ බලශක්තිය මිල අධික වූ නිසයි.

හොඳ යටිතලපහසුකම් ප්‍රතිපත්තියක් සහ ක්‍රියාවට නැංවීමක් මගින් ස්ථාවර සහ මිල අධික නොවන බලශක්ති සැපයුමක් සහතික කරනවා නම් නිෂ්පාදන කර්මාන්ත වල විශාල වශයෙන් ආයෝජනය කිරීම් අපිට දකින්න තියන හැකියාව වැඩියි.  සේවාවන් සහ ලුහු කර්මාන්ත වල ආයෝජනයන් බහුලව දක්නට ලැබෙන්න  එක හේතුවක් තමයි ඒවායේ යැපීම රඳාපවතින්න  බලශක්ති ආදායනය අවම ලෙස අදාල වීම.

රජය නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කල යුතුද ?

ජනාධිපති ප්‍රේමදාස විසින් දියත්කරන ලද ග්‍රාමීය නිමි ඇඳුම් කර්මාන්තශාලා වැඩපිලිවෙල මේ නිෂ්පාදන කර්මාන්ත යෝජනාකරන්නන් ගෙනෙන   තර්කයන් හි ගැටළු විදහාපානව. ඔහු රජයේ නිමි ඇඳුම් කර්මාන්තශාලා 33,000 ක් පිහිටුවන්න උත්සාහ කලේ නැහැ. ග්‍රාමීය පළාත් වල  නිමි ඇඳුම් කර්මාන්තශාලා මෙහෙයවිය යුත්තේ කවුද කියල ඔහුට ඉතා පැහැදිලි අවබෝධයක් තිබුනා: ඒ දැනටමත් ඒ කර්මාන්තයේ නිරත වෙන පුද්ගලික  ව්‍යාපාර ආයතනයි. ඒවාට අවැසි තාක්‍ෂණය , ආයෝජනය , සේවකයින් බඳවා ගැනීම සහ ඉතාමත් වැදගත්, නිෂ්පාදන සඳහා වෙළඳපොළ සපයාගැනීමේත් වගකීම එම පුද්ගලික ව්‍යාපාර වලට පැවරුණා .
මේ වෙළඳ සමාගම් වලට ගමට යන්න දිරිගැන්වීම් තිබුනා. අඩු පඩියට වැඩ කරන්න කැමැත්තෙන් සිටින පුහුණුකළ හැකි සේවකයින් ඒවායේ හිටියා. ඒවගේම ඔවුන්ට අනුබල නොදෙන කාරණාත් තිබුනා . විදුලිබල සැපයුම , වරාය දක්වා සහ වරායේ සිට ප්‍රවාහනය වගේ දේවල් නගරයට වඩා පිරිවැය අධික සහ අවිශ්වාසකටයුතු වුණා. රජය ඒ කාලේ සමාගම් වලට කැරට් අල කෝටුවේ ගහල පෙන්නලා තමයි ගම්වලට කර්මාන්තශාලා ගෙනියන වැඩේ ඉටුකර ගත්තේ. එදා යටිතලපහසුකම් අද තියන තරම් හොඳ තත්වයේ තිබුනානම් ඒ කටයුත්ත පහසුවෙන් කරන්න තිබුනා.

ඒ කාලේ  වෙනස් කාලයක් .

මුළුමනින්ම පාහේ සියලු නිමි ඇඳුම් අපනයන සිද්ධ උනේ බලපත්‍ර හරහා  සලාක වලින් අනුග්‍රහපූර්වක කොන්දේසි බුක්තිවිඳින්න ඉඩ ප්‍රස්ථාව ලබාදෙමිනුයි. මේ බලපත්‍ර උත්තෝලනය නිසා  ලැබෙන බලය රජයට තිබුනා .
දැන්, රජයට එහෙම ලැබෙන බලයක වාසියක් නැහැ .නගර වල සහ ගම්වල ඒ කාලයේ ස්ථාපිත කරනලද බොහෝ කර්මාන්තශාලා  සලාක ක්‍රමයේ ආධිපත්‍යය අවසන් වෙනවත් එක්කම වැහිලා ගියා. නව වෙළඳපොල වාතාවරණයට අනුවර්තනය උන ඒවා, තම නිෂ්පාදන වලට වැඩි වටිනාකම් එකතුකර ගත් අය තමයි  තවමත් නොනැසී පවතින්නේ.

මේ වගේ වෙනස් වීමේ අවශ්‍යතාවය ඉල්ලාසිටින අවස්ථාවකදී  රජය- සතු කර්මාන්ත ප්‍රතිචාර දක්වන අයුරු මෙයට සසඳා බලන්න. දශකයකට ඉස්සෙල්ලා වෙළඳපොල කඩාගෙන වැටුනු වෙලේ  බංගලාදේශයේ රජයට පවරාගත් හණ රෙදි කර්මාන්තශාලා  වල සේවකයින්ට තාමත් රටේ බදුගෙවන ජනතාව පඩිනඩි ගෙවනවා.

ප්‍රමුඛතා රජය තීරණය කලයුතුද ?

නිමි ඇඳුම් නොවෙයි නම් මොනවාද? අපනයනය කිරීම සඳහා නිෂ්පාදනය කල යුත්තේ මොනවාද යන්න වෙළඳපොල හදුනාගැනීමට  රජය සමත්ද ?  ව්‍යවසායකයාටම  එය හඳුනාගන්න ඉඩහරින එක වඩා සුදුසු නැද්ද?

රජයට කල හැක්කේ කුමක්ද? ව්‍යවසායකයින් මුහුණ පාන මොනවා හෝ බාධාවක් ඇත්නම් ඒවා ඉවත්කිරීමයි . ගැටළුව වී ඇත්තේ බදු නම් බදු සහන ලබාදීමයි . තොරතුරු ගලාඒමේ හිඩැසක් ඇත්නම් ඒවා යාකිරීමයි . නමුත් බොහෝ අවස්ථාවලදී  වඩා උපයෝගී ලෙස රජයට කල හැක්කේ යටිතලපහසුකම් සේවා වැඩිදියුණු කිරීමයි .

ඉතින් ඇත්ත වශයෙන්ම නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනයට රජය කලයුත්තේ වරායන් සහ අධිවේගී මාර්ග නගාසිටුවීම තමයි.

ලොකුම බාධකය ලෙස පෙනීයන්නේ මූලධනය. විශාල සමුහ ව්‍යාපාර වල පැවැත්ම (උදා: ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ) සහ අලුත් ඒවායේ මතුවීමට (උදා: සොෆ්ට්ලොජික්) වැරදියි කියල  සාක්ෂි සහිතව ඔප්පුකරනතුරු වෙළඳපොළ ප්‍රාග්ධනය ප්‍රමාණවත් නොවීම තමයි ගැටලුව.  ව්‍යවසායකයින් ට මුලධනය උත්තරණය කරන්න අමාරුයි. ප්‍රාග්ධනයට ප්‍රවේශ වීමේ හැකියාව තිබෙන අය අවදානම-අඩු , ඉක්මන්-ප්‍රතිලාභ කෙරෙහි දිශානත වෙලා ඉතින් මේ දෙකම ආකර්ෂණය වෙන්නේ සේවාවන් කෙරෙහි.  මේක රජය කරන දෙයක් නොවෙයි නමුත් රජයේ වැරදි ප්‍රතිපත්ති වල විපාකයක්.

ඉතින් මේ ඔක්කොටම පස්සේත් ,කවුරුවත්   කිසිම අයුරකින් නිෂ්පාදන කාර්යයන් වල නිරත නොවනවානම් , රජය කලයුත්තේ මොනවාද?

මුකුත්ම කලයුතු නැහැ . යටිතලව්‍යුහයට සහ ප්‍රාග්ධනයප්‍රවේශ වීමේ   විවිධාකාර බාධාවන් අඩු කරන්න ක්‍රියාත්මක විමට  ට රජයට පුළුවන්. නමුත් මොනයම් කාරණයක් නිසාවත් රජය 1970 දශකය විලාසයේ
අවදානම් රජයේ කර්මාන්ත වලට සෘජුව ආයෝජනය කිරීමවත් කර්මාන්තශාලා මෙහෙයවීම වත් නොකලයුතුය .

අසංවිධිත  අසංඛය සංක්‍යාවක් තීරණ ගන්නන් විසින්  තමන්ගේම  මුදල් වල අවදානම ගෙන නිෂ්පාදන කර්මාන්තයන්හි   යෙදීමේ  සූදානම්නැති බව  අපිට හඩගා කියන්නේ . ශ්‍රී ලංකාවට නිෂ්පාදන කර්මාන්ත වල යෙදීමේ   සංසන්දනාත්මක වාසියක් නොමැති බවයි. එයට අපි ඇහුන්කම් දිය  යුතුයි. ඔවුන්ගේ නිෂ්පාදනය කිරීමේ අකමැත්ත නොසුදානම හැමවිටම අනුන්ගේ සල්ලි (ජනතාවගේ බදු මුදල්-පරිවර්තක ) අවදානමේ හෙලමින්   තීරණ සැලසුම්  නිර්දේශ කරන අය වැරදියයි අපිට නිරතුරු පෙන්වාදෙයි.

**************************************************************23 Oct, 2014 07:44:04

මගේ අදහස නම් මාතලන් ගේ අදහසක් පාදක කරගෙන  මහාචාර්ය රොහාන් සමරජිව ඉතා සංයමයකින් යුතුව දක්වා ඇති අදහස්   ගැන මා මිතුරු මාතලන් බ්ලොග්කරු එතරම් කලබල විය නොයුතු බවයි. මාතලන්ට කරන කෙලින් පහරදීමක් හෝ විරුධභාෂයකට වඩා මෙහි ඇත්තේ මාතලන්ගේ ජනතාවාදී(populist) රචනා ශෛලීය තුල  අවිඥානිකව සැඟවී ඇති මාතලන්ටත් නොදැනුවත්ව ඉන් එලියට පනින   ලාංකික පොදුජන විඤ්ඤාණය  තුල පැලපදියම් වී ඇති දුර්මත කිහිපයකට පහර ගැසීමයි.   මහාචාර්ය රොහාන් සමරජිව ගේ යටිතල පහසුකම් වලට රජය අතිවිශාල ලෙස ගිනිපොලියට ණයවී කරන  ආයෝජනයට දක්වන එකඟතාවය හා පුද්ගලිකව මගේ එකඟතාවය ක් නැති වුවද ලිපියේ ඔහු මතුකරන  අනෙකුත් කරුණු කාරනා ඉතා සාධනීය වේ.
මා මිතුරු මාතලන්ගේ මුල් ලිපිය මා සලකන්නේ එහි කොමෙන්ට් තීරුවේ කොමෙන්ට් කරුවෙකු ඉතා නිවැරිදිව හඳුනාගෙන ඇති පරිදි අංශක 180 කින් ආපසු හැරීගිය  දේශපාලනික අපගමනයක් ලෙසය. එක්කෝ මාතලන් පැටලී ඇත්තේ බ්ලොග්සටහන් වල ජනප්‍රිය සාධකය හා තමන්ගේ දේශපාලන මතවාදය කළමනාකරණය කරගැනීමේ උභතෝකෝටිකය තුලය එසේත් නොමැති නම්  මාතලන්අපිටත් හොරෙන්  අනුර කුමාර රහසේ හමුවී ජවිපෙ සාමාජිකත්වය ලබාගෙන අපේ දැක්ම ආර්ථික ක්‍රමය ජනප්‍රිය ඔහුගේ ආකෘතිමය හරඹය හරහා මොඩ් කර කොත්තුවක් දැම්මා විය යුතුය. නැත්නම් දිගු කලක් ඔහුගේ රචනා ශෛලිය කියවන රසිකයන්ට පවා මාතලන් වමේද දකුණේද යන්න හඳුනාහත නොහැකි තරම් අපහැදිලි කොට සියල්ල මංමුලාවී යන  ලෙස ලංකාවේ ආර්ථිකය රජය හැසිරිය යුතු පිලිවල  පිළිබඳව  Fifty Shades of Grey අළුපාට රචනාවක් ලියවෙන්න විදියක් නැත.

මාතලන් මෙලෙස අජිත් පැරකුම් හෝ අනුර කුමාරගේ ආර්ථික මතවාද සමග තමන්ගේ ආර්ථික මතවාද රිමික්ස් කිරීමෙන් වාමාංශික පාඨක පිරිස අතරත් බ්ලොග් අඩවියේ  ජනප්‍රිය භාවය රඳාපවත්වා ගැනීම   බලාපොරොත්තු වුවාද යන්න මා නොදනිමි නමුත් මාතලන් සොයුර මහාචාර්ය රොහාන් සමරජීව ඔහුගේ ලිපියේ කියා  ඇති පරිදි, නැණවත් සිතුම් සපිරිනු  බවක් මෙතෙක් කලක්  පෙන්වා ඇති ඇති මේ  බ්ලොග්කරුවා, මෙම කර්මාන්තශාලා, හෝටල් නිෂ්පාදන කර්මාන්ත   සැදිය යුත්තේ කවුද? ක්‍රියාත්මක කලයුත්තේ කවුද  යන්න  අපිට අපැහැදිලි ලෙස අනුමාන කරන්න ඉඩහැර ගිහිල්ල.

මචෝ මාතලන්  උඹට නොතේරුනාට ජෙප්පොන්ට උඹ උන්ගේ එකෙක් කියල හිතෙන්න තරම් උඹ අපගමනය වෙලා. රජයෙන් මේවා කලයුතුයි කියල ඉඟි වෙන විදියට තමයි ඒ ලිපිය ලියවිලා තියෙන්නේ.

යටිතල පහසුකම් ගැන එක තලයකින්  උඹත් එක්ක එකඟ වෙන්න පුළුවන් ඒත් මාතෝ. ව්‍යවාසකයින්ට ප්‍රාග්ධනය සමුච්චය කිරීමට ඇති විවිධාකාර බාධාවන් ඉවත් කිරීමට කලින් පිස්සු බල්ලෝ වගේ කොමිස් ගහන්න ඕනෑ නිසා යටිතලපහසුකම් කියල සුදුඅලි වරායවල් සැදීම ගැන මහාචාර්යවරයා දක්වනදේශපාලනික උදාසීන  මධ්‍යස්ථ භාවය   අනුමත කරන්න බැරි උනත්  අනෙක් කාරනා වලදී ප්‍රොෆෙසර් හරි කියලයි හිතෙන්නේ.
මාතලන්ගේ තර්කය වන්නේ මහාචාර්යවරයා ඔබේ ලිපිය හරියට කියවා  තේරුම්ගෙන නැත යන්න නම් මාතලන් මට කියන්න ඇත්තේ මචෝ  හිත රිදුනනම් සමාවෙයන් ඇත්තටම ඒකෙ සමහර තැන්වල උඹේ මතවාදය කුමක්ද යන්න  මටත් අපැහැදිලියි ඒකනිසා උඹත් නිහතමානිව යම්තරමකින්  වරද පිළිගත යුතුයි..

කෙසේ නමුත් මාතලන් ලංකාවේ ඊනියා  මුඛ්‍යධාරාවේ ජනමාධ්‍ය ජඩ මාද්‍ය ලෙස හැසිරෙමින්  විකාර කරමින් සිටින යුගයක  මෙවැනි හරවත්  සංවාදයක් සඳහා මං පෙත් විවර කිරීමේ සම්පුර්න ගෞවරවය ඔබට හිමිවෙන බැවින් ඒ සඳහා තොප්පිය ගලවා ආචාර කරමි.
by ©Uditha Meegahathenna