Pages

Followers

Wednesday, October 24, 2012

පී. බී. දෙන්න එහෙම එපා එක සතයක්වත් වත් චම්පිකට

ජනාධිපති තුමාගේ පවුලේ කෙනෙකු නිසා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  ලබන විශේෂ සැලකිල්ල නිසා අංක එක අහිමි නොවුනානම් අද ලංකාවේ වැඩිම බලයක් ඇති  රජයේ ඉහළතම  පරිපාලන නිලධාරියා වන්නේ අචාර්ය පී බී ජයසුන්දරයි. එත් තවමත් දෙවනියා ඔහුය.
ලංකා සී නිව්ස් පුවතකට අනුව  පසුගියදා වීදුලි බල හා බලශක්ති ඇමති චම්පක රණවක වෙනත් නිලධාරීන් ද රාශියක් ඉදිරිපිට අචාර්ය පී බී ජයසුන්දරට පරිභව කොට බැනවැදී ඇත. විදුලිබල මණ්ඩලය මුහුන පා ඇති මූල්‍ය අර්බුදය පිලිබඳ  පැවති රැස්වීමකදී  පී .බී ජයසුන්දර විසින්   චම්පික ඇමතිතුමා වෙනත් තැනකදී කිවූ කතාවක් පිළිබද   ඇනුම් පද කියා ඇත.  වෙනත් තැනකදී  මීට පෙර අවස්ථාවක  චම්පික කියා ඇත්තේ රජයේ නිලධාරීන් රටේ ආර්ථිකය විනාශකර දමන බවයි.

 එවෙලේම ප්‍රතිචාර දැක්වූ චම්පික ඇමති තුමා ඔබ තමයි රටේ ආර්ථිකය විනාශ කරන ප්‍රතිපත්ති හදමින් ආර්ථිකය විනාශ කරන්නේ කියා මුනටම  බැනවැදී ජයසුන්දර මහතා ඉතා අපහසුතාවයකට පත් කොට ඇත.
බැන්නා කියා මං  ජනාධිපතිතුමාට කියන්නං කියා පමණක් කියා අචාර්ය පී බී  ජයසුන්දර  නිහඬව වී ඇත.

දැන් මෙතැන වී  ඇත්තේ රට කරවන දේශපාලකයින් හා රට කරවන නිලධාරීන් අතර ගැටුමකි. මේ ගැටුම දිහා ඉතිං අපිට මොකෝ කියා  කීමට හා නිකම් බලා සිටීමට  රටේ සංවේදී  ජනතාව ලෙස  අපි කැමැත්තක් දක්වන බව සැබෑය. එසේත් නොමැතිනම්  මේ දෙදෙනාගෙන් තමා වඩාත් අකමැති කෙනාට බැනල කොමෙන්ට් එකක් දාල නිහඬ වීම අනික් ක්‍රමයයි.  නමුත් අමාරුවෙන් හෝ මේ හැදියාව වෙනස් කර ගත්තේ නැත්නම් තමන්ගේ දරුවන්ට ඉදිරියේදී රට හැර යාම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවනු ඇත.

රටේ  වෙන්නේ කුමක්දැයි හැගීම වලින් නොව නිවැරිදිව හඳුනාගැනීම රටේ හැම පුරවැසියාගේම වගකීමකි . මේ දෙන්නගේ ගැටුමෙන් ජනතාවට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? බ්ලොග්  කරුවන් ලෙස අපට එහි ඇති  වැදගත්කම මොකද්ද යන්න පහදා දීම මේ ලිපියේ අරමුනයි. දැන් කට්ටියක් කියයි අයියෝ මේ කවුරුත් දන්නා දේවල් ටිකක් නේ කියල ඔව් මේවා දේශපාලන ආර්ථික  හෝඩි පොතේ දේවල් තමයි.  එත් ඉතින් මේ දන්නා දේවල් වලින් වැඩක් ගන්නවා කියල පේන්නේ නම් නෑ චන්ද්‍රිකා 94 දිනුවා අනර්කලී තමයි දැන් චන්දෙ දිනන්නේ.

ඉහත  ගැටුමට අදාළ විදුලි බල මණ්ඩලය යනු රාජ්‍ය ව්‍යාපාරයකි. මහා බැංකු වාර්ථාවට අනුව  විදුලි බල මණ්ඩලය 2011 දී රුපියල් බිලියන 26 ක පාඩුවක් ලබා ඇත.

 රාජ්‍ය ව්‍යාපාරයක අයිතිකරු වන්නේ බදු ගෙවන ජනතාවයි. දැන් මේ ඔබට අයිති ව්‍යාපාරය  ඔබ පවතින  ආණ්ඩුවට භාර දෙනවා ඔබ වෙනුවෙන්  කරගෙන යන්න. මෙතනදී  විදුලි බල මණ්ඩලය කරන්න භාර දීල තියෙන්නේ ආණ්ඩුවේ චම්පිකට. දැන් චම්පික රණවක ඇමති තුමා ඔහු යටතේ නිලධාරින් පත් කරනවා මේක කරගෙන යන්න. මේ නිලධාරීන් යටතේ යතුරු ලියන්නියගේ ඉඳන් කම්කරුවා දක්වා වැඩ කරනවා. දැන් පාර්ශව සියල්ල  පැහැදිලියි නේ. උදාහරණයක් ගමු රට වෙනුවට ඔබයි ඔබේ පවුලේ නෑදැයෝ ටිකයි එකතු වෙල කඩයක් කරනවා කියල හිතමු.
ඔබ සහඔබේ පවුලේ අය  (ජනතාව) = කඩේ අයිතිකරු
චම්පික රණවක (ආණ්ඩුව)= කඩේ කරගෙන යන්න භාර දීපු කෙනා
නිලධාරින් සහ සේවකයින් = කඩේ මැනේජර් හා සේවකයින්
ඔන්න දැන් අවුරුද්දකට පස්සේ කඩේ පාඩු වෙලා. කඩේ කරන්නං කියල භාර ගත්තු චම්පික අවුරුද්දකින් ඔයා ලඟට ඇවිත් නිදහසට කරුණු ගොඩක් කියල  කියනවා කඩේ පාඩු උනා බිලියන 26 ක් ඒක වහගන්න බිලියන 26 දෙන්න කියල. යකෝ කොස් ඇටද සල්ලි රුපියල් බිලියන 26ක්. බිලියන ගානක් වටිනා කඩෙත් දීල තව සල්ලිත් ඉල්ලනවා. දැන් මොකද කරන්නේ. යවනවා බැංකුවට(භාණ්ඩාගාරයට)

මහාභාණ්ඩාගාරය යනු විදුලි බල මණ්ඩලය මෙන් රාජ්‍ය ව්‍යාපාරයක් නොවේ. එය ජනතාවගේ එනම් ඔබේ  මුදල් පෙට්ටගමයි.ඔබ  ඔබේ මුදල් කළමනාකරණය සඳහා  අර වගේම පවතින  ආණ්ඩුවට භාර දෙනවා ඔබ වෙනුවෙන්  කරගෙන යන්න. මෙතනදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිට තමයි දීල තියෙන්නේ ඔහු පීබී ජයසුන්දර නම් නිලධාරියා පත් කරලා තියෙන්නේ  මේ ඔබේ මුදල් කළමනාකරණය කරන්න. ඔබ ඔහුට මුදල් ඇමති හරහා උපදෙස්දී ඇත්තේ  සල්ලි දෙනවනම් හොඳට හොයල බලල සල්ලි දෙන්න කියල .

දැන් ඉතිං ආයිත් සල්ලි දෙන්න ඉස්සෙල්ල මේ ව්‍යාපාරය පාඩු උනේ ඇයි කියල ඔහුට හොයන්න වෙනවා. දැන් බලමු මේ රාජ්‍ය  ව්‍යාපාරයක පාඩු සිදු වෙන්නේ ඇයි කියල .
 1. රාජ්‍ය ව්‍යාපාරයක වැඩ කරනසභාපති,අධ්‍යක්ෂ මණ්ඩලය,කළමනාකාරිත්වය සහ සේවකන්ට හැගීමක් ඇති වෙන්න විදියක්නැහැකාර්යක්ෂමව වැඩ කරලා කොහොම හරි මේ ව්‍යාපාරය ලාභ ලබන්න ඕන කියල. මොකද පුරුද්දක් විදියට ඒ අය දන්නවා කොච්චර පාඩු ලැබුවත් අන්තිමේ ආණ්ඩුව සල්ලි දීල ඒ අය බේරා ගන්නවා කියල.
 2. රාජ්‍ය ව්‍යාපාරයක වැඩ කරනසභාපති,අධ්‍යක්ෂ මණ්ඩලය,කළමනාකාරිත්වය පත් කරන්නේ වැඩට දක්ෂ සහ මේ අදාල වැඩේට සුදුසුකම් තියන අය  නොවෙයි නේ වෙන්නේ දේශපාලනික හිතවත් කම් අනුව දේශපාලන උදව් කරුවන් මේ තනතුරු වලට දාන එකයි.
(හිතන්න ඔබගේ කඩේ කරන්න භාර දුන්න කෙනා වැඩ දන්නා මිනිස්සු වෙනුවට එයාගේ පවුලේ හිතවත් අයට රස්සා දෙනවා)
3. රාජ්‍ය ව්‍යාපාරයක  අයිතිකරු අපි ජනතාව් නැත්නම් කඩේ අයිතිකරු අපේ ස්‌වයං සුබසාධන පරමාර්ථ තමන්ට අයිති වයාපාරය හා පටලවා ගැනීමයි. උදාහරණයකට අපි හිතනවා විදුලි බල මණ්ඩලය පොදු දේපලක් අපේ දෙයක් නිසා ආණ්ඩුවෙන් අපිට නිකං අඩුවට දෙන්න ඕන මේක සේවාවක් කියල. (මෙතැන උදාහරණෙ කඩේ අයිතිකරු ඔබ සහ ඔබේ නෑයන් හැමදාම හවසට ගිහින් ගෙදරට කඩේ බඩු නිකං අරන් යනවා    කියල හිතන්න)
 මෙහෙම ගියාම මේක හැමදාම පාඩු වෙනවා හැමදාම් අතින් සල්ලි දාන්න වෙනවා. දැන් ඔබට ඕන තරම් සල්ලි තියනවද? නෑ බැංකු මැනේජර් කියනවා සල්ලි නෑ කියල. රටකට එහෙම සල්ලි නෑ ඉතින් පිට රටින් නය  ගන්න වෙනවා. ගිනි පොලියට.
  දැන් මෙතැන චම්පික පාඩු පියවන්න තව සල්ලි ඉල්ලනවා පී බී ජයසුන්දර බෑ කියනවා. දෙන්න ඇර ගන්නවා  ජනතාව අපි මේකේ අයිතිකාරයෝ විදියට  අපිට ගානක්වත් නෑ නේද. අපිත් උන්ටම බනිනවා හරිද? මේ රාජ්‍ය ව්‍යාපාරයක්  විකාර සහගත ලෙස පාඩු විඳින කොට මේකේ අයිතිකරුවන් වන අපිත් වැදගත් පාර්ශවයක් අපිත් මේකට වගකිව යුතුයි.

විධිමත් ලෙස කිව්වොත් රාජ්‍ය ව්‍යාපාරයක් පාඩු ලබන විට  ආණ්ඩුව, දේශපාලකයින්, බදු ගෙවන  ජනතාව සහ   බ්ලොග් කරුවන්ද ඇතුළුව ජනමාද්‍ය (මේවා පිලිබඳ දැනුවත් නොවීම  අන් අය දැනුවත් නොකිරීම යන කරුණ නිසා )   යන සියලුම පාර්ශවයන් වරදකරුවන්.

ලංකාවේ  අනේ අපි ඕවට නෑ (දේශපාලනයට)කියන හැමෝම ඉක්මනින්  වටහාගත යුතු කරුණ නම් රාජ්‍ය ව්‍යාපාර  පාඩු ලබන විට ඔබ සහ ඔබේ දරුවන් පාඩු ලබන බවත් දිනෙන් දින තව තවත්  නය කරුවන් වන බවත්ය.
පුරවැසියෙකු  ලෙස මා මගේ සල්ලි පෙට්ටගම භාර දී තිබෙන්නේ  භාණ්ඩාගාර ලේකම් වන අචාර්ය   පී බී ජයසුන්දරටයි. මා ඔහුට කියන්නේ මෙයයි දෙන්න එපා චම්පික රණවකට  එක සතයක්වත්. කරන්න බැරි නම් යන්න කියන්න කරන්න පුළුවන් කෙනෙක්ට දෙන්න. කරන්න පුළුවන් කෙනෙක් හොයාගන්න. ලංකාවේ නැත්නම් පිටරටකින් හරි. ක්‍රිකට් පුහුණුකරුවන් පිටරටින් ගෙනාවා වගේ ගෙන්න ගන්න පිටරටින්.

12 comments:

  1. හැම තැනටම පිරටින් ගේන්න වෙනවා.. නැත්නම් ඔය ඔක්කෝම එලවලා රාජපක්ෂලා ඕකකරන්න ඕන. මොකද ඔය ඉන්න ඇමති සෙට් එකම 94 ඉඳලා මෙළෝ වැඩක් කරලා නෑ. නිකන් බොරු ආතල දෙන එක තමයි කොරන්නේ. රාජපක්ෂලා තමයි දෙයක් කරන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් ඉතින් ඔක්කෝම රාජපක්ෂලා බෙදාගෙන නේ තියෙන්නේ අපි මොකද කරන්නේ කියලා. හොඳම උදාහරණය ප්‍රේමදාස මහත්තයා සහ මහින්ද මහත්තයා. ප්‍රේමදාස මහත්තයට ජේ ආර් කැපිල්ලමයි දැම්මේ එයාගේ අමාත්‍යශයට මුදල් වෙන්කලේ බොහොම අඩුවෙන්. ඒත් උන්නැහේ නෙමෙයි සැලුනේ. ගෙවල් හදන්න පටන් ගත්තා තනියම. විදේශ ආධාරත් අරගෙන. මහින්දත් එහෙමයි ලැබුන දෙයට යමක් කලා. ඒ වගේම මේ දෙන්නටම රජකම නොදෙන්න තමයි සෙට් උනේ. නමුත් ටැලන්ට් එකෙන් ඒකත් ගත්තා. වැඩ කාරයාට බොරු බෑ. බොරු කාරයට වැඩ බෑ කියන්නේ ඒකයි.

    අදත් බජට් එකෙන් දෙන මුදල් කිසිම ප්‍රයෝජනයක් නොගෙන ආපහු හරවලා යවනවා. මෙතනදි චන්ද්‍රිකා වගේම මහින්දත් නායකත්වයෙන් දුර්වලයි. මේ එකෙකුටවත් ටාගට් දීලා නෑ. බජට් එකෙන් කරන්න ඕන ඒ දේ. නැතුව හිතෙන හිතෙන වෙලාවට කරන ඒවා නෙමෙයි. ප්‍රතිපත්තිත් එහෙම වෙන්න ඕන. ජේ ආර් ටාගට් දුන්නා. කස්ටිය ටාගට් එකට වැඩ කලා. ඔක්කෝම පොරවල් උනා. ඔය විදේශ ඒජන්සි ඔක්කෝම වගේ කුරුණෑගල තියෙන්නේ ඇයි. ඒ ප්‍රේමචන්ද්‍රගේ වැඩ. විදුලි බළ මණ්ඩලය පාඩු ලබනවනම් ඒකේ වග කීම තනිකර ඇමතිතුමා ගන්න ඕන. බැරිනම් දමලා ගහලා යන්න ඕන. ඔය බුද්ධ ශාසන ඇමති කමක් හරි ජාතිය එකාබද්ධ කිරීමේ ඇමති කමක් හරි වගේ එකක් අරගෙන. ලොක්කා ඇමතිකම් දෙන්නේ වැඩ කරන්න නෙමෙයි. එතනින් හම්බ කරන් කන්න.. මම කීප තැනකම මේක කිව්වා. ඔය ආර්ථික සෙට් එක මාරු කලේ නැත්නම්. නාමල්ලට පාලනය කරන්න ශ්‍රී ලංකාව කියන රට ඉතුරු වෙන්නේ නෑ.

    ReplyDelete
  2. පිටරටකින්ම තමයි ගෙන්වගන්න වෙන්නෙ....

    ReplyDelete
  3. තමන්ගෙ රට කෑවා කියා පිටරටට හැමදාම බනින අය වැඩිය ඉන්න රටකි. එහෙත් වැරැද්ද ඇත්තේ කොතැනදැයි කෙසේදැයි පෙන්වා දුන්නාම ඔන්න බලන්න තමන් වගකීමක් ගන්න තියෙන කම්මැලිකම. පිටරටෙන්ම ගෙන්වන්න හදන්නෙ!!!

    උදිතගේ උත්සාහය අගයමි. පුද්ගල අයිතිය සහ මහජන දේපල අයිතිය යනු මොනවා දැයි නොදන්නා අය ඒවා විමසීම වහා කළ යුතු කාර්යයකි.

    ReplyDelete
  4. පී බී කියන්නේ පුංචි බන්ඩා කියන එක පුංචි බන්ඩා කියන්නේ පට්ට ගමේ නමක්. මහින්ද රාජපක්ෂ කියන්නෙත් ඒ වගේ.. ගමේ අයගේ නායකයා. අදටත් කොළඹදි පරාදයි.. ඒ උනාට මේ අය ආදරේ කොළඹට. ඒ කියන්නේ ලාංකික නව ලිබරල් ධනවාදයට. (ඔය වචනය ගැන ප්‍රශ්ණ තියෙනවා) බඩු සිල්වා ගෙදර යවපු ජයසුන්දර මහත්තයා මහින්දට ආයෙත් ගේන්න වෙනවා. හේතුව ළෝක බැංකුව කොන්දේසියක් ගේනවා ණය දෙන්න නම් පුංචි බන්ඩා ආයෙත් ඒ තැනට ගේන්න කියලා. ඉතින් බටහිර කුමන්ත්‍රණ කාරයන්ට බය නැති මහින්ද, ජයසුන්දර එතනට ගේනවා. යූ ඇන් පීය නෙමෙයි කටක් හොල්ලන්නේ. ඒත් චම්පිකයි විමලුයි ගේමක් ඉල්ලනවා. ඒ ඉල්ලුවට වැඩක් නෑ. පුංචි බන්ඩා පවර්ෆුල්. අනික කලබල නෑ. කොහොමත් තව අවුරුදු දෙකකින් විතර සිගරට් එක රුපියල් 50ක් විතර වෙයි. ඒත් අපි බොන එක බොනවා. කන එක අඩු කරලා හරි. සමාවෙන්න දැනටත් අඩු කරලා තියෙන්නේ.

    ReplyDelete
  5. කතාව ඇත්ත. හැබැයි ප්‍රස්නේ පෙට්ටගම බාරදීල තියෙන්නෙ නරියට :)

    ReplyDelete
  6. ලංකාවේ විදුලි බල මණ්ඩලයේ අර්බුධයක් ඇත. එය ඇත්ත කතාවකි. නමුත් ඒ අර්බුදයට හේතුව ඔබ සිතන කාරණය නොවේ. වෙනත් ලෙස කිව්වොත් විදුලි බල මණ්ඩලය පාඩු ලබනවානම් ඒ ලබන්නේ විදුලි බල මණ්ඩලය තුල සිදුවන මහා පරිමාණ දුෂණ, අධික වැටුප් ගෙවීම් හෝ අකාර්යක්ෂමතාව නිසා නොවේ. කල්පිත අවස්ථාවක් ලෙස විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට වැටුප් නොගෙවන්නේ යයි සිතමු. එසේම එහි කිසිදු වංචා, දුෂණයක් නැතුව ඇති ද සිතමු. එසේ වුවත් දැන් තිබෙන ඉන්ධන මිල ගණන් හා වැසි ප්‍රමාණය යටතේ විදුලි බල මණ්ඩලය පාඩු ලබනු ඇත.

    මන්දයත් විදුලි බල මණ්ඩලය කරන්නේ "දාහට ගෙන සීයට දෙන්නා වැනි" වැඩක් නිසාය.
    (දැනට ඩීසල් ලීටරයකින් උපරිම ලෙස විදුලි ඒකක පහක් නිපදවිය හැක. මෙය මිට අඩු වනවා මිස වැඩි නොවේ. බොහෝ විට මෙය මීට අඩු වේ. එසේම ලෝක වෙලපොලේ ඩීසල් මිල රවී කරුණානායක කියන තරම් අඩු නැත. ගබඩා වියදම්, බෙදා හැරීමේ වියදම්, ප්‍රවාහන වියදම් තවත් නිෂ්පාදන මිලට එකතු වේ.)
    එනිසා විදුලි බල මණ්ඩලය ලබා ලබන තත්වයට ගැනීම මේ අවස්ථාවේ මේ තත්ත්ව යටතේ කාටවත් නොහැක.මෙයට ඔබ කියන ආකාරයට පිට රටින් කෙනෙක් සොයා කල හැකි වැඩක් නොවේ.

    "මේ රාජ්‍ය ව්‍යාපාරයක් විකාර සහගත ලෙස පාඩු විඳින කොට මේකේ අයිතිකරුවන් වන අපිත් වැදගත් පාර්ශවයක් අපිත් මේකට වගකිව යුතුයි. "
    ඔබ වැරදි ලෙස උනත් හරි දේ ලගින් ගිහින් තියෙනවා.
    ලෝක ආර්ථිකය අර්බුධයක අසල තිබියදී හෙජින් කරන්නට යාම, ග්‍රීසිය අර්බුධයකදී එහි ආයෝජන කිරීම, අඩු මිල කොටස් වැඩි මිලට ගැනීම, නිසා බලධාරීන් නොසිටියදී (ඇමතිවරයා හා සංස්ථාවේ සබාපති) පැට්‍රොල් ගෙන්වීම වගේ පාඩු සිදු වූ දේවල් උදාහරණ හෝ පාඩු වෙන්න තිබු සැක සහිත ගනු දෙනු ඕනෑ තරම් ඇත. විදුලි බලා මණ්ඩලයේ පාඩුවට හේතුව, මණ්ඩලය 2000 කලින් සැදිය යුතුයි යෝජනා කල බලාගාර විවිද බලපෑම් මත වසර ගණන් පමා වීමය.
    විදුලි බලය ගැන කියන විට විදුලි බල මණ්ඩලය නොවේ රටම තවත් විදුලි අර්බුධයකට 2016 දී යන බවට අනාවැකි පල වී ඇත. මෙයට හේතු වී ඇත්තේ ඉන්දියානු සම්පුර් බලාගාරය පමා වීමය. මේ පමා වීම අපේ අතින් නොව ඉන්දියාව අතින් වන වරදක්යි කියවී ඇත. මෙය සත්‍යක් වීම ඉහල හැකියාවක් ඇත්තේ ඉන්දියාවේද (ඉන්දියානු රජය හා සමාගම් මගින් කරන) මෙවැනි ව්‍යපෘති වසර ගණන් පමා වීම නිසාය. නමුත් මහජනයා "වහා සම්පුර් බලාගාරය හදව්" කියා පෙළපාලි නොයයි. විදුලි බල මණ්ඩලය නම් ස්වභාවික වායු ව්‍යපෘති සලක බලමින් ඇත (මෙය කලින්ද සලක බලා ඇත. නමුත් ඒ කාලයේ තිබු මිල ගණන් අනුව මෙය එවිට කල නොහැකි[infeasible] විය. නමුත් දැන් තිබෙන මිල ගණන් යටතේ මෙය feasible වී ඇත).

    විදුලි බලා මණ්ඩලය ගැන කියන විට, ලංකාවේ විදුලි බලා මණ්ඩලයට නිසි තරගයක් නොතිබීම නිසා එය මාෆියාවක් ලෙස ක්‍රියා කිරීමට පටන් ගෙන ඇත. එනම් එහි පාරිබෝගික ජනතාව පසෙක තබා එහි වැඩ කරන්නන් තමන්ටම සෙත සලසා ගැනීම සිදු කරයි. මෙය විදුලි බලා මණ්ඩලයේ, මේ රජයේ හෝ ලංකාවේ පමණක් ඇති වන ප්‍රශ්නයක් නොව ලොව ඕනෑ තැනක ඇති වන ප්‍රශ්නයකි. මෙය රජයකට විසදිය හැකි ප්‍රශ්නයක් නොවේ. එයට විසදුම මෙය රජය යටතේ තම නොගැනීමයි. නමුත් විදුලිබල අංශයට රජයේ මැදහත් වීම අවශ්‍යය. එය පෞද්ගලික අංශයට දී අත පිස දා ගත් විට විට 2002 කාලයදී UNP ආණ්ඩුව යටතේ උනා වැනි විකාර වැඩ සිදු වේ.

    ReplyDelete
    Replies
    1. //2002 කාලයදී UNP ආණ්ඩුව යටතේ උනා වැනි විකාර වැඩ//
      මේ මොනවාද?
      මගේ මුලිකම සටන් පාඨය රජය ව්‍යාපාර නොකළ යුතුයි යන්නය. රජයට ව්‍යාපාර කරන්න බැහැ එහෙම උත්සහ කරන කරපු හැම අවස්ථාවකදීම ඒ රටවල් හොම්බෙන් ගිහින් තියනවා කියල විතරයි ලෝකයේ අන් රටවල් ලෝක ඉතිහාසයේ හැම තැනම ලද අත්දැකීම මේක එළිපිට පෙන්න තියෙද්දී ජනතාවක් ලෙස අපි වැරදි වන්නේ මෙය හඳුනා නොගැනීමයි.

      Delete
    2. එකල තිබු විදුලි අර්බුදය විසඳීම පුද්ගලික අංශයට භාර දුන්නා. මේ වන විට ලෝකය තිබුනේ ආර්ථික අර්බුධයක. ඒ නිසාය තෙල් මිල හොදටම අඩු වෙලා තිබුනෙ (තෙල් මිල බැරල් එක ඩොලර් 30 පනින්නේ 2004 පසු).
      ලංකාවේ විදුලි බලාගාර ලෙස අපිට අවශ්‍ය උනේ අඩු මිලට විදුලිය නිපදවිය හැකි ගල් අඟුරු, ස්වභාවික වායු වැනි (නමුත් මුලින් සැහෙන වියදමක් යන) දීර්ඝ කාලයක් භාවිතා කල හැකි බලාගාර. නමුත් පුද්ගලික අංශය සැදුවේ ඩිසල් හෝ දැවී තෙල් බලාගර (මේවා මෙහෙම කිව්වට එහෙමම වෙනසක් නෑ. බොහෝ විදුලි ජනක වලට ඩීසල්, දැවී තෙල්, ස්වභාවික වායු වැනි ඉන්ධන කිහිපයක් භාවිතා කල හැකියි). මේ බලාගාර ඉක්මනින් ස්ථාපනය කරන්න පුළුවන්. අවධානම අඩුයි. ඒ කලේ ලාබෙට තිබ්බ ඩීසල් පස්සේ ගණන් ගියා. දැන් ඒ හදපු බලාගාර වලින් විදුලිය නිපදවල එය අඩු ගානකට දීම මඟින් තමා විදුලි බලා මණ්ඩලය පාඩු ලබන්නේ. දැන් ඔබ ඇහුවොත් ඇයි එහෙනම් කෙරවලපිටිය හැදුවේ කියල, එය හැදුවේ ගල් අඟුරු බලාගාර පමා (මේ පමා වීමටත් එක හේතුවක් අපේ ලොකු අය්යා.උන්දැ කැමති නෑ චීනේ ඇවිත් ලංකාවේ මොකුත් හදනවට. චීනේ වෙනුවට එයා යෝජනා කරපු සාම්පුර් තාම කොට උඩ) වීම නිසා විදුලි අර්බුදයක් ඇති නොවීමට.

      ඔබේ සටන් පාඨය හරි. ඒකේ මට ප්‍රශ්නයක් නෑ.

      Delete
    3. මහ බැංකු වාර්තාවේ තියෙන්නේ "operating loss" කියල ඒ වචනය භාවිතා කරලා තියෙන්නේ. Cost of sales සහ Operating expenses වල එකතුව මුළු අදායමට වඩා වැඩිවීමේදී නේ පාඩු වෙන්නේ එතකොට මහා බැංකුව කියන්නේ "operating loss" කියල ඒ කියන්නේ Operating expenses වැඩිවීම නිසා පාඩු වීම ලෙස සලකා තමයි මම පාඩු සිදු වෙන්නේ ඇයි කියන 1 සහ 2 කරුණු ඉදිරිපත් කලේ දැන් ඔබ "තිබෙන ඉන්ධන මිල" කිව්වම Cost of sales වල මිල ඉහල යාම නිසා වෙන පාඩුවක් ලෙසයි ඔබේ තර්කය. මා වැරදි නම් නිවැරිදි කරන්න. ඔබට හොඳටම විශ්වාසනම් Operating expenses වල නොවෙයි අවුල තියෙන්නේ දැන් තෙල් මිල ඉහල යාම නිසා කියල විදුලි බිල වැඩිකිරීම හැර වෙන විසඳුමක් නෑ.

      Delete


  7. මෙයට පසු වදනක් එකතු කරන්නේ නම් මා මේ මුලින් කිවූ කරනා, එනම් "විදුලි බල මණ්ඩලය ලාබ ලබන තත්වයට ගැනීම මේ අවස්ථාවේ මේ තත්ත්ව යටතේ කාටවත් නොහැක" යන්න ජයසුන්දරත් හොදටම දනී (නොදනී නම් ඔහු ඒ රස්සාවට සුදුසු නැත). ඔහු එය දන්නා බව රණවකත් දනී.

    ReplyDelete
    Replies
    1. රජයේ ව්‍යාපාර කියන ඒක හරියන කෙලියක් නොවෙයි කියල පී බී විතරක් නොවෙයි හැමෝම දන්නවා එත් අපේ ජනතාව තාම මේක නොදන්නවා වගේ ඉන්නව අපි පොදු දේපල පුද්ගලිකකරන්නේ නෑ කිව්වම තමයි උඩ දාගෙන ගිහින් චන්දෙ දෙන්නේ මහින්ද මේක දන්නවා. ඉතින් එයා ඒක කියනවා චාන්දේ දෙනවා දැන් මේක දුවන්න නය ගන්න වෙනවා මොකද පාඩුයි කරන්න බෑ නේ.නය ගන්න ගියාම නය නිකම් දෙන්නේ නෑ ආපහු ගන්න පුළුවන් කියල සහතික නම් නේ නය දෙන්නේ ඉතින් නය දෙන එකා කියනවා අපිට ඔයාව විශ්වාස නෑ මේ නය ගෙවන්න පුළුවන් වෙන්න රාජ්‍ය ව්‍යාපාර නැති කරලා දාන්න කියල. කාගේද මෙතන වැරැද්ද? ජනතාවගේද,මහින්දගේද? පී බී ගෙද නය දෙන අයි එම්එෆ් එකේද?

      Delete
    2. අපි මේ තාම කතා කරන්නේ විදුලිබල මණ්ඩලය ගැන කියල මම හිතනවා.
      විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම වැළැක්වීමට නම් දිගු කාලීනව නිෂ්පාදන වියදම අඩු බලාගාර වෙත මාරු විය යුතුයි. මෙය කරන්න වසර ගණනක් යයි. ඒ කියන්නේ අපේ මුළු විදුලි අවශ්‍යතාවම ( දැනට තිබෙන ජල විදුලිය, ඩීසල්, සුලන් ආදිය නොසලකා) ගල් අඟුරු, ස්වභාවික වායු වැනි අඩු වියදම් බලාගාර වලින් සපුරා ගන්න තරම් බලාගාර සැදිය යුතුයි (නැත්නම් හැරවිය යුතුයි).
      කෙටි කාලීනව (වසරක් දෙකක් ඇතුලත වගේ නම්) නම් විදුලි මිල වැඩි විය යුතුයි. පුද්ගලිකකරණය කලත් ඒ හැර වෙන කෙටි කාලීන විසඳුමක් නෑ.
      ජනතාව ගේ සැහෙන වැරැද්දක් තියෙනවා.
      මහින්ද කියන්නේ නොම්මර ඒකේ අවස්ථාවාදියෙක්. ජනතාව වැඩි පිරිසක් මෙයට කැමති නම් ඔහු උඩින්ම කැමති වෙයි.

      Delete